පුංචි ඡන්දෙට සල්ලි නෑ කියපු ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් බිලියන 15ක් දීලා – දයාසිරි ජයසේකර

51

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතැයි කී ආණ්ඩුව මේ වනවිට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 15ක් දීමට කටයුතු කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) කියා සිටියේය.

එලෙස මුදල් ලබාදීම මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත සක්‍රීය කිරීමක් බවටද හෙතෙම චෝදනා කළේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

මේ වසරේ වැඩ ඉදිරි මාස හතකින් අවසන් කරන්න කියලා අලුතින් යෝජනාවක් ගෙනැවිත්. ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙනයි මේවා කරන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සත පහක මුදලක් විමධ්‍යගත අරමුදලින් ලබාදීලා නෑ. කඳුකර සංවර්ධනය ගැනත් උපදෙස් දීලා තිබෙනවා. මේ කරන්න යන්නේ පළාත් පාලන ආයතන සක්‍රීය නොමැති මොහොතක ඒවා නැවත සක්‍රීය කරලා හිටපු සභාපතිවරුන්ට, උප සභාපතිවරුන් ඇතුළු ආණ්ඩුවේ අයට වැඩ කරන්න අවස්ථාව ලබාදීමයි. ඒ අනුව හැම පළාත් පාලන ආයතනයකටම මිලියනය ගානේ බිලියන 3.4ක් දෙන්න යනවා. ඒ වගේම විමධ්‍යගත අරමුදලත් එක්ක බිලියන 15ක් මාස හතක් තුළ වියදම් කරන්නයි මේ හදන්නේ.

ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය පවත්වන්න මුදල් නෑ කිව්වා. දැන් බිලියන 15ක සංවර්ධන වැඩ කරලා ඒ ආයතන නැවත සක්‍රීය කරන්න හදනවා. මේක වැරදි වැඩක්. කරුණාකරලා පළාත් පාලන මැතිවරණය පවත්වන්න.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා :

සංවර්ධන කටයුතු නවත්වන්න කියලාද මන්ත්‍රී තුමා යෝජනා කරන්නේ? පළාත් පාලන විතරක් නොවෙයි, පළාත් සභා ඡන්දත් කල්දාලා තියෙන්නේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment