පකිස්ථානයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

541

ඉරානය විසින් පකිස්ථානයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයන්ට පළිගැනීමක් වශයෙන් පකිස්ථානය විසින් ඉරානයට ඊයේ (18දා) එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 07 දෙනකු මිය ගොස් තිබේ. පකිස්ථාන ගුවන් ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනකු හා ළමුන් සිවුදෙනකු මියගොස් ඇති බව ඉරාන රජයේ රූපවාහිනිය පවසා තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති පකිස්ථානය පවසා ඇත්තේ ඉරානයට අයත් සිස්ටන් -බලුකිස්තාන් පළාතේ සරවන් නගරයේ ත්‍රස්තවාදීන් සැඟවී සිටින ස්ථාන ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. කාලයක සිටම පකිස්ථානය හා ඉරානය එම රටවල සිටින සන්නද්ධ කණ්ඩායම්වලට උපකාරී කරන බවට එකිනෙකාට චෝදනා කරගනිමින් සිටී. ඉරානය විසින් පකිස්ථානයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පෙර උතුරු ඉරාකයේ හා සිරියාවේ තිබෙන අයිසීස් හා ඊශ්‍රායල රහස් ඔත්තු සංවිධානය වන මොසාඩ් ආයතනයේ කඳවුරු වෙතද මිසයිල ප්‍රහාර එල්ල කර තිබිණි.


advertistmentadvertistment