පරාද වුවද රාහුල් ගාන්ධි ජාතික නායකයෙක්: විචාරක මත පළවෙයි

2518

මෙවර ඉන්දීය මහා මැතිවරණයේ ප්‍රචාරක රැස්වීම්වල සිට අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීම දක්වාම ඉන්දීය අගමැති මෝදි විසින් ලෝක් සභාවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි යන මතය බොහෝ මාධ්‍ය ඔස්සේ සමාජගත වී තිබුණද බොහෝ දෙනා අපේක්ෂා නොකළ පරිදි අගමැති මෝදිට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් ලෝක් සභාවේ ආසන 232ක් දිනා ගැනීමට රාහුල් ගාන්ධිගේ ජාතික ඉන්දීය කොංග්‍රසය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 28කින් සමන්විත ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානයට (ඉන්ඩියා) හැකි වීම ඉන්දීය මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබේ.

2019 වසරේ පැවති ඉන්දීය මහා මැතිවරණයේදී ආසන 52ක් දිනාගත් ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය මේ වන විට මහා මැතිවරණයේදී තනි පක්ෂයක් වශයෙන් ආසන 99ක් දිනාගෙන ඇති අතර එම පක්ෂය ප්‍රමුඛ ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානයට ආසන 232ක් මෙවර මහා මැතිවරණයේදී දිනාගත හැකිවී තිබේ. 2019 වසරේ ඉන්දීය ජාතික කොංග්‍රසය විසින් දිනාගත් ආසන සංඛ්‍යාව මෙවර දෙගුණ කරගැනීමට හැකි වීමෙන් එම පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ඉන්දියාවේ ජාතික නායකයකු ලෙස නැගී ඒමක් පෙන්නුම් කරන බව ජනමාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන විචාරකයකුද වන රෂීඩ් කිද්වායි ප්‍රකාශ කර තිබේ. ඔහුට අනුව ඉන්දීය පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකයා ද වන රාහුල් ගාන්ධි අගමැති මෝදිගේ නායකත්වයට අභියෝග කළ හැකි නායකයකු බව මෙවර මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කර තිබේ.

හිටපු ඉන්දීය අගමැති රාජිව් ගාන්ධිගේ පුත්‍රයා වන රාහුල් ගාන්ධි මෙවර ඉන්දීය මහා මැතිවරණයට පුරා දැවැන්ත පාද යාත්‍රා දෙකක් මෙහෙයවමින් ජනතාවගේ වැඩි වෙමින් පවතින විරැකියාව හා ආගමික ගැටලු ඇතුළු දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වීම නිසා ජනතා සහය වැඩි වශයෙන් සිය පක්ෂය වෙත ලබා ගැනීමට හැකි වී තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානයද මීළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා උත්සාහ දරනු ඇතැයි මත පළ වුවද අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාවක් එකතු කරගැනීමට හැකි වීමත් සමගම එම මත බැහැර වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment