වසරේ එක්දින ක්‍රීඩිකාව චමරි

189

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2023 වසරේ අයිසීසී කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙයෙන් සම්මානයට පාත්‍ර වූවාය. ලොව ජාත්‍යන්තර පිටියේ සියලුම ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතුරින් චමරි අතපත්තු එක්දින තරගවලදී දක්වන ලද සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් මෙම උසස්ම සම්මානයෙන් ඇය පිදුම් ලැබුවාය.

චමරි අතපත්තු වසර පුරා එක්දින පිටියේ නායකත්වයේ විශිෂ්ට බව ප්‍රදර්ශනය කළ අතර, පිතිකාරිණියක ලෙස ද ඉදිරියෙන්ම සිටි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇගැයීමට ලක් වූවාය.

ක්‍රීඩිකාවක් සහ නායිකාවක් ලෙස ඇගේ දක්ෂතා නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකාවේ පැවැති තරගයේදී කැපී පෙණුන අතර එහිදී ශ්‍රී ලංකාව එම ද්විපාර්ශ්වික එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළේය. නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයේදී පන්දු 83කදී හයේ පහර 5ක් හා හතරේ පහර 19ක් සමඟ නොදැවී ලකුණු 108ක් හා එහි අවසන් තරගයේදී පන්දු 80කදී හයේ පහර 9ක් හා හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 140ක් ලැබීමට චමරි අතපත්තු සමත් වූවාය. එම අවස්ථා දෙකේදීම ආරම්භක පිතිකාරිණිය ලෙස තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට චමරි සමත් වූවාය. 33 හැවිරිදි චමරි අතපත්තු පසුගිය වසරේ ජාත්‍යන්තර එක්දින තරග 8 කදී ලකුණු 415 ක් රැස්කරමින් සාමාන්‍ය 69.16ක් රඳවා ගත්තාය.

මෙවර අයිසීසී දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා නාමලේඛනයේ චමරි අතපත්තු අවස්ථා 3කදී ශ්‍රී ලංකා නාමය ඉදිරියට ඔසවා තැබීම කැපී පෙනිණි. වසරේ අයිසීසී එක්දින කණ්ඩායමේ හා විස්සයි 20 කණ්ඩායමේ නායිකාව ලෙසද නම් වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment