පළමු පුහුණු තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 20 කින් පරදී

240

පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නෙදර්ලන්තය සමග පෙරේදා (28 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 20 ක පරාජයක් අත් විය.

නෙදර්ලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 181ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා පන්දුවාර 18.5කදී සියලුදෙනා ලකුණු 161කට දැවී ගියේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නෙදර්ලන්තයට පිරිනැමීය.

නායක වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ මෙම තරගයේදී පන්දු යැවීමෙන් වැළකී සිටි අතර දිල්ෂාන් මධුසංක කඩුලු 2ක් බිඳ හෙළද්දී දුනිත් වෙල්ලාලගේ, නුවන් තුෂාර, ඇන්ජිලෝ මැතිව්ස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

නෙදර්ලන්තය වෙනුවෙන් මයිකල් ලෙවිට් ලකුණු 55ක් සහ ස්කොට් එඩ්වඩ්ස් ලකුණු 27ක් වාර්තා කළහ. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගළය වූ පැතුම් නිස්සංක ලකුණු 5කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 4කටත් දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 5ක් පමණි. චරිත් අසලංක ලකුණු 12කට පිටියෙන් ඉවත් වූ අතර, නායක වනිඳු, පන්දු 15කදී ලකුණු 43ක් රැස්කර ගත්තේය. ඊට එක් පන්දුවාරයක් තුළ එල්ල කළ හයේ පහර 5ක් ද ඇතුළත් වීම කැපී පෙනිණි. දසුන් ශානක නොදැවී ලකුණු 35ක් ලබා ගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 31කට පිටියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි පුහුණු තරගය හෙට (31දා) අයර්ලන්තය සමගින් පැවැත්වීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment