කෝවිලේ අවුල ටීඑන්ඒ මන්ත්‍රීවරු මැතිසබයට ගෙන යති

199

සභාව මැද විරෝධයට සජිතුත් එක්වෙයි

වවුනියාවේ හින්දු කෝවිලක පූජාවක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභාගර්භයේ දී ඊයේ (19දා) දැඩි විරෝධතාවක නිරත වූහ. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම එම මන්ත්‍රීවරු විරෝධතා පුවරු අතැතිව සභාගර්භය මධ්‍යයට පැමිණ මෙම විරෝධතාව ආරම්භ කළහ.

මේ හේතුවෙන් සභා ගර්භයේ වැඩකටයුතුවලට දැඩි බාධා එල්ල වූ අතර, එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට සහාය දක්වමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සභාව මැදට පැමිණ ආගමික නිදහස ලබා දෙන්නැයි කියමින් අදහස් දැක්වීය. සජබය නියෝජනය කරන දමිළ මන්ත්‍රීවරුන්ද ඊට එක්වූ අතර ඔවුන් නැවත ආසන වෙත යැවීමට ආණ්ඩු පක්ෂයේ නායකයන්ට දැැඩි ආයාසයක් දැරීමට සිදු විය. අගමැතිවරයා ද ඊට මැදිහත් විය.

චාර්ල්ස් නිර්මලනාදන් මහතා- පසුගිය 08 වැනිදා වව්නියාව උතුරේ සිවන්කෝවිලේ පූජාව කරපු අටදෙනකුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසිය ලවා බොරු නඩු දාලා ඇරෙස්ට් කර තිබෙනවා. ඒ අටදෙනාම රිලීස් කරන්න ඕනෑ. ඒකයි අපේ ඉල්ලීම.

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා – මේ කටයුත්ත තිබෙන්නේ අධිකරණය තුළ. ඒ අත්අඩංගුවට ගැනීමේදී වරදක් වෙලා තිබෙනවා නම් ඒ ගැන ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා අධිකරණයට දැනුම් දෙන්න පුළුවන්. නඩුවක චූදිතයන් නිදහස් කරන්න කියලා පාර්ලිමේන්තුවේදී අපෙන් ඉල්ලුවාට හරියනවාද? ඒකෙන් නීතියේ ආධිපත්‍යය රැකෙනවාද? අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා ඒ ගැන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නම්.

සජිත් ප්‍රේමදාස මහතා – ආගමික නිදහස මූලික අයිතියක්. පාර්ලිමේන්තුවේ 225ම ඒ ආගමික නිදහස ආරක්ෂා කරන්න කැප වෙන්න ඕනා.

චාර්ල්ස් නිර්මලනාදන් මහතා- මේ ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති ඉඩමක් කියලා අපි පිළිගන්නවා. මෙච්චර කාලයක් අපි ඒ සිවම් කෝවිල තමයි පාවිච්චි කළේ. වවුනියාව උසාවියෙන් තීන්දුවක් දුන්නා මෙතන පූජාව කරන්න පුළුවන් කියලා. දැන් පුරාවිද්‍යාව ඇවිත් නඩු දාලා තියෙන්නේ පුරාවස්තුවලට හානි කළා කියලා. අපේ දෙයියන්ට අපි හානි කරනවාද? නෑනේ.

විමල් වීරවංශ මහතා- මේ කියන වව්නියාවේ වඩුනාගල කියලා ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් තිබෙනවා. වෙඩිකිනරිමලේ කියලත් මේකට කියනවා. ක්‍රිස්තු වර්ෂ දෙක තුනට තරම් ඈතකට දිවයන බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් මේක. මේ ස්ථානයේ සිව පූජා පවත්වන්න අධිකරණයෙන් අවසර දීලා නෑ. ආගමික ගැටුමක් ඇති කරලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්නයි මේ දඟලන්නේ. මේකට යටවෙලා පුරාවිද්‍යා නිලධාරීන්ව බිල්ලට දෙන්න එපා.

මේක බෞද්ධ සිද්ධස්ථානයක් නමුත් මෑතක සිට විවිධ ආගම්වාදී කල්ලි ගිහින් පුද පූජා පවත්වනවා. සවස 06 වෙනතෙක් ඒක කරන්න අවසර දීලා තිබෙනවා. මෙතන ප්‍රශ්නය වෙලා තිබෙන්නෙ 06 න් පස්සෙත් මෙතන රැඳී සිටින්න උත්සාහ කරලා තිබෙන එකයි. පුරාවිද්‍යා ආයතනය කරලා තිබෙන්නේ නීති විරෝධී කටයුත්තක් වීම වැළැක්වීමයි. මේ හදන්නේ ජාතිවාදී, ආගම්වාදී දේශපාලන පක්‍ෂවල ඡන්ද ගන්නයි. මම කියන්නේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට ඇතුළු වෙලා අනවශ්‍ය ගැටුම් ඇතිකරන්න එපා කියලා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment