නතර කළ ලොරියේ දොරේ යතුරුපැදිය වැදී යුද හමුදා විශේෂ බළකා ලුතිනන් සහ පුතා මරුට

554

බිරිඳටත් බරපතළයි

නවගත්තේගම – ආණමඩුව මාර්ගයේ ලබුගල මංසන්ධියේදී ඊයේ (25 දා) උදෑසන 6.00ට පමණ සිදුවූ යතුරුපැදි අනතුරකින් යුද හමුදා නිලධාරියෙක්, ඔහුගේ අවුරුදු 10ක වයසැති පුතා මියගොස් බිරිඳ බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු තිස් හතක් වූ යුද හමුදා විශේෂ බළකායේ ලුතිනන් ටී. සෙනවිරත්න හා ඔහුගේ පුතා වන මනුජ ප්‍රභාෂ්වර යන අයයි. මියගිය දරුවා උඩවැව පරාක්‍රම විද්‍යාලයේ හය වසරේ ඉගෙනුම ලබමින් සිට තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ප්‍රදේශයේ දැඩි මීදුම් සහිත කාලගුණයක් පැවැති බව ප්‍රදේශවාසීහු පැවසූහ. ලබුගල මංසන්ධියට ආසන්නයේ අතුරු මාර්ගයකින් පැමිණි දර පටවා ගත් ලොරි රථය නවගත්තේගම ආණමඩුව මාර්ගයට දමා ගමන් කරමින් සිටියදී ලොරි රථය කාර්මික දෝෂයකට ලක් වී මාර්ගයේ නතර වී ඇත. එම අවස්ථාවේ ලොරියේ රියැදුරු රථයෙන් බැස දොර වසා නොදමා ලොරි රථය පරීක්ෂාවට ලක් කර ඇත.

එම අවස්ථාවේ නවගත්තේගම සිට ආණමඩුව දක්වා යුද හමුදා නිලධාරියා, ඔහුගේ පුතා සහ බිරිඳ පැමිණි යතුරුපැදිය විවෘත කර තිබූ ලොරි රථයේ දොරේ ගැටී තිබේ. එහිදී බරපතළ තුවාල ලබා සිටි යුද හමුදා නිලධාරියා සහ ඔහුගේ පුතා ආණමඩුව රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි. බරපතළ තුවාල ලබා සිටි මියගිය යුද හමුදා නිලධාරියාගේ බිරිඳ පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. යතුරුපැදියට බරපතළ හානි සිදුවී ඇති අතර ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ ආණමඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment