නිල සංචාරයක් සඳහා පෙරේදා (26 දා) වියට්නාමය වෙත පැමිණි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් හට ගුවන් යානයෙන් පිටතට පැමිණීමට පෙර සිය බිරිය වූ බි්‍රජට් මැක්රෝන් විසින් කම්මුල් පහරක් දී තල්ලු කර ඇති බව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අදාළ වීඩියෝවේ ප්‍රංශ ජනාධිපති මැක්රෝන්ට ඔහුගේ බිරිය වූ බි්‍රජට් මැක්රෝන් විසින් කම්මුල් පහරක් දී දෑතින් මුහුණ තල්ලු කරන ආකාරය දිස්වේ. එය ඔවුන් දෙදෙනා අතර හටගත් ගැටුමක් දුරදිග යෑමේ ප්‍රතිඵලයක් ලෙස සමාජ මාධ්‍ය හඳුන්වා දී ඇතත් තමා හා බිරිය අතර එහිදී සැබවින්ම සිදු වූයේ සෙල්ලමට කළ ක්‍රියාවක් බව ප්‍රංශ ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ.
මෙම සිද්ධිය වියට්නාමයේ හැනෝයි අගනුවර වෙත ජනාධිපති මැක්රෝන් රැගත් යානය ගොඩබෑමෙන් පසුව සිදු වී ඇති බවත් එය කැමරා කාචයේ සටහන් වී ඇත්තේ ගුවන් යානයේ දොරටුව විවෘතව තිබීම නිසා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි. එම සිදුවීම කැමරා ශිල්පින් විසින් රූගත කර ඇති බව දැකීමෙන් පසු මැක්රෝන් ජනාධිපතිවරයා කිසිවක් සිදු නොවූ ලෙස යානයෙන් පිටතට පැමිණ සිනාමුසු මුහුණෙන් ජනතාව අතරට ගොස් ඇති බවද වාර්තා වේ.
ප්‍රංශ ජනාධිපතිවරයා ඔහු හා බිරිය වියට්නාමයට පැමිණි අවස්ථාවේ සිදු වූයේ සෙල්ලම් ක්‍රියාවක් බව පවසා ඇතත් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා වියට්නාම නිල සංචාරය ඇරඹීමට පෙර පැවති මානසික පීඩනය අඩු කරලීම සඳහා එසේ කර ඇති බවයි. ජනාධිපති මැක්රෝන්ට අනුව අදාළ සිදුවීම විශාල ගැටලුවක් නොවන්නේය. ප්‍රංශ ජනාධිපතිවරයා සිය බිරිය එල්ල කළ කම්මුල් පහර සුළුවෙන් තැකුවද විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මැක්රෝන් ජනාධිපතිවරයා රතු පලස ඔස්සේ ගුවන් යානයෙන් පිටතට පැමිණි පසු දෑත් පැටලීම සඳහා සිය බිරිය වෙත අත දුන් අවස්ථාවේ ඇය එසේ දෑත් අල්ලාගෙන ගමන් කිරීම මගහැර තිබේ. ඒ අනුව එම යුවළ ගමන් ගෙන ඇත්තේ වෙන් වෙන්ව බව ද වාර්තා වේ.
ප්‍රංශ ජනපති වියට්නාමයේ සංචාරයක් සඳහා පැමිණ ඇත්තේ ඔහු 2017 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් හා 2022 වසරේදී නැවත එම ධුරයට තේරී පත්වීමෙන් පසු ප්‍රථම වරටය. ප්‍රංශ ජනාධිපතිවරයාට ඔහුගේ බිරිය විසින් කම්මුල් පහරක් එල්ල කර ඔහු තල්ලු කරන අවස්ථාව ඇතුළත් වීඩියෝ පටය වර්තමානයේ එක්ස් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අවස්ථාවේ එයට විශාල මහජන ප්‍රතිචාරයක් ලැබී තිබේ. කෙසේ වුවද මෙම වීඩියෝ පටයෙහි පසුබිමින් කිසිදු ශබ්දයක් නොඇසීමත් එය හාස්‍යජනක අයුරින් නිපදවූ එකක් බව පෙනී යෑමත් නිසා එය සැබෑ වශයෙන්ම සිදු වූවක්දැයි සැක සහිත බව ඇතැමුන්ගේ මතයයි.
මෙම වීඩියෝවට අසාමාන්‍ය ප්‍රතිචාර ලැබී ඇත්තේ ප්‍රංශ ජනපති මැක්රෝන් හා ඔහුගේ බිරිය වන බි්‍රජට් මැක්රෝන්ගේ ප්‍රේම කථාව පිළිබඳව වසර ගණනාවක් ලොව පුරා පවතින දැඩි අවධානය හේතුවෙනි. මැක්රෝන් ජනාධිපතිවරයාට වඩා ඔහුගේ බිරිය වසර 24 ක් වැඩිමහල් වන අතර ඔවුන් දෙදෙනා එකිනෙකාට ප්‍රේම කිරීම අරඹන අවස්ථාවේ ජනපතිවරයාගේ වයස අවුරුදු 15 කි. බි්‍රජට්ගේ වයස අවුරුදු 39 කි. මැක්රෝන් ජනපති එවකට පාසල් සිසුවකුව සිටි අතර බි්‍රජට් ඔහුගේ සාහිත්‍ය ගුරුවරිය වූවාය. බි්‍රජට් 2007 වසරේ මැක්රෝන් හා විවාහ වන විට විවාහක තිදරු මවක වූ අතර ඇය ඔහු විවාහ කර ගෙන ඇත්තේ සිය විවාහක සැමියා දික්කසාද කිරීමෙන් අනතුරුවය.
ඒමන්ති මාරඹේ