ප්‍රතිපත්තිමය සංවාදයට බිය වූ අය නගන අවලාද කියන බොරු ඉවරයක් නැහැ

42

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මාලිමාවේ දේශපාලනය පිළිබඳ ප්‍රතිපත්තිමය සංවාදයක් නොමැති කණ්ඩායම් අවලාද නැගීම්, බොරු කීම් සහ විකෘති කිරීම් කරගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඉරිදා පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව අමතමින් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මැතිවරණය ආසන්න වෙද්දී මෙතෙක් බලයේ සිටි කණ්ඩායම් විවිධ අසත්‍ය, විකෘති තොරතුරු මෙන්ම මඩ අවලාද මුදා හරිමින් සිටිනවා. තව පැත්තකින් ජනතාව අතර, ඡන්දය තියයිද දන්නෑ යනුවෙන් දෙගිඩියාවක් නිර්මාණය කරමින් යනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු ඡන්දයට බය සියලු‍ දෙනා ජනාධිපතිවරණය මඟහැර යන්න විවිධ ක්‍රියාමාර්ග ගැන සිතමින් සිටිනවා. මුලින් මහා මැතිවරණයක් පවත්වන්න, රනිල් වික්‍රමසිංහට තව අවුරුදු දෙකක් දෙන්න, ව්‍යවස්ථාවේ වගන්තිවලින් රිංගලා යන්න ආදී වශයෙන් විවිධ දේවල් සිතමින් සිටිනවා. මීට කලින් කවදාවත් ඔවුන්ගේ පැත්තෙන් ඡන්දය මඟහැර යන්න මේ වගේ උත්සාහයන් දරලා නැහැ. රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා මැතිවරණය මඟහැර යන්න කිසිම ඉඩක් නැති නිසා ජාතික ජන බලවේගයට අවලාද නගමින් සිටිනවා. හැටනව ලක්ෂයක් ඡන්දය අරගෙන බලයට ආව රාජපක්ෂලාගේ කණ්ඩායම සීසීකඩ ගිහිල්ලා. ජනාධිපතිවරණය අත ළඟ තියෙද්දී එයට තරග කරනවාද නැද්ද කියලා නිශ්චිතව කියන්න බැරිතරමට එය බිඳවැටිලා. පොහොට්ටුවේ නායකයෝ පිරිසක් රනිල් එක්ක, තව පිරිසක් මහින්ද එක්ක ඉන්න අතරේ තව පිරිසක් හතරවටේ ඇවිදිනවා. රාජපක්ෂලාගේ බොහෝ දෙනා රනිල්ගේ සරණ යන්න පෙළඹී සිටිනවා. ඒ අයගෙන් තවත් පිරිසක් අන්තිම මොහොතේ සල්ලි ටිකක් සොයා ගන්න බලනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති බලය යොදාගෙන මහජන මුදල් වැයකරමින් සදාචාර විරෝධී සහ මැතිවරණ නීතිවලටත් විරුද්ධ කටයුතු කරමින් සිටිනවා. මන්ත්‍රීවරුන්ට කෝටි ගණන් ප්‍රතිපාදන වෙන්කරලා ජනතාවට හාල් කිලෝ දහයක් දෙමින් යනවා. මේ මොහොතේත් අපේ රටේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන, පළාත් පාලන මැතිවරණයට අදාළ තත්වයක් තිබෙන්නේ. ඒ වගේම පක්ෂයේ නම සමගි ජන බලවේගය වුණත් සමගියක් ඇත්තේම නැති බව ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු කතාවෙන් තහවුරු කළා. බඩු බෙදන්න, කොමිස් ගහන හැටි හෙළි කළා. තවත් සමහර පිරිසක් රෑට රෑට රහස් සාකච්ඡාවල සිටිනවා. හර්ෂ ද සිල්වා ඇතුළු බලගතු ආර්ථික කණ්ඩායමක් සිටින බව කීවත් සජිත් ප්‍රේමදාස ආර්ථික උපදේශකයන් පත්කරගෙන සිටිනවා. සජිත් ප්‍රේමදාසලාට, රනිල් වික්‍රමසිංහලාට සහ රාජපක්ෂලාට මහජන සහයෝගය එකතු කර ගන්න බැරි වී සිටින අතර, ජාතික ජන බලවේගය රට තුළ වගේම ජාත්‍යන්තරවත් විශාල සහයෝගයක් ලබාගනිමින් ඉදිරියට යමින් සිටිනවා. සියලු‍ බලවේගය මාලිමාව එක්ක එක්තු වෙමින් ඉදිරියට යන අවස්ථාවේ රාජපක්ෂලා, රනිල්ලා, සජිත්ලා සියලු‍ දෙනාම එක්වී ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන ඉතාමත් කැත මඩ

ගැසීමේ සහ විකෘති කිරීමේ ව්‍යාපාරයක් ගෙනයනවා. අපේ දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සංවාදයක් ඇත්තේම නැතිව ඔවුන් අවලාද, බොරු සහ විකෘති කිරීම් දිගටම ගෙනයනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපට ඇත්තටම තිබෙන්නේ කනගාටුවක්.


advertistmentadvertistment