ප්‍රභාවත් ජීවිතයකට පියමං තැබීම

112

යුද්ධයේ සුලමුල ගැන විස්තරයක් භාග්‍යවතුන් වහන්සේ මහා නිධාන සූත්‍රයේ දේශනා කොට වදාළ සේක. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ කුරු රටේ කම්මාස්සදම්ම නියම්ගමේය. එදා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළ ආනන්ද ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාදය ගැන දහම් කතාවකට මුලපිරූ සේක. එහිදී මේ පටිච්චසමුප්පාද ධර්මය ගම්භීර වූ එකක්, ගැඹුරු තේරුම් ඇති එකක් බව දේශනා කළ සේක. ලෝක සත්ත්වයා අවුලෙන් අවුලට යන්නේ නූල් බෝලයක් වගේ අවුල් වී, කුරුලු කූඩුවක් වගේ ගෙතී, තණ බිස්සක් වගේ පැටළිලා යන්නේ මේ පටිච්චසමුප්පාදය අවබෝධ නොකිරීම නිසා බව ද භාග්‍යවතුන් වහන්සේ හෙළිකොට වදාළ සේක. යුද කෝලාහල ඇතිවීමට හේතුව ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. “පින්වත් ආනන්ද, විඳීම හේතුකොටගෙන තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා සොයන්නට පටන් ගනී. සොයන්නට පටන් ගැනීමෙන් එය ලැබෙයි. ලැබීම නිසා ලැබෙන දේවල්වල වටිනාකම විනිශ්චය කරන්නට පටන් ගනියි. විනිශ්චය අනුව එයා ඒකට ඇලුම් කරයි. ඇලුම් කරද්දී ඒ කෙරේ සිත බැස ගනී. සිත බැසගත් විට ඒක තමා සතු කරගන්නට කල්පනා කරයි. තමා සතු කර ගන්නට කල්පනා කිරීමෙන් එය වෙන කෙනකුට ලැබෙනවාට අකමැති බව හෙවත් මසුරුකම ඇතිවේ. මසුරුකම නිසා ඒ දෙය ආරක්ෂා කර ගන්නට එයා අරගලයක යෙදේ. අන්න ඒ ආරක්ෂා කර ගැනීමේ අරගලය නිසා දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කෝලාහල කිරීම, විරුද්ධකම් කිරීම, විවාද කිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම ආදී නොයෙක් ළාමක අකුසල ධර්මයන් පහළ වෙයි.” මේ ධර්මතාවය අපේ සිතේ ඇත. ඒ සිත නිසා නේද ලෝකයේ කලකෝලාහල, ගැටීම්, යුද්ධ හට ගන්නේ? සිතේ මේ ධර්මතාවය අදහාගත් කෙනා හට ගැටීම් කලකෝලාහල මැද වුව ද සිසිල් වූ සිතක් ඇති කරගත හැක.

දිනක් මහානාම ශාක්‍යයා නිග්‍රෝධාරාමයට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට දහම් කතාවේ යෙදෙන්නට විය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහානාම, කාමයන්ගේ කුඩා සැපයක් ඇත. බොහෝ දුක් ඇත, දැඩි වෙහෙසක් ඇත. බොහෝ විපාකයන් ඇත.” “පින්වත් මහානාම කාමය මුල්කොටගෙන කාමය හේතුකොටගෙන රජවරු රජවරු සමඟ යුද්ධ කරති. ක්ෂත්‍රියෝ ක්ෂත්‍රියෝ සමඟ කෝලාහල කරති. බමුණන් බමුණන් සමඟ කෝලාහල කරයි. ගේදොර වාසීන් අතර කෝලාහල ඇති වේ. මව ද පුතා ද අතර කෝලාහල ඇති වේ. පියා ද පුතා ද අතර කෝලාහල ඇති වේ. සහෝදර සහෝදරියන් අතර කෝලාහල ඇති වේ. යහළුවන් අතර කෝලාහල ඇති වේ. මෙසේ කෝලාහල, විරුද්ධකම්, වාද විවාදයට පැමිණ එකිනෙකා අතින් පහර දෙයි. කැට කැබලිතිවලින් පහර දෙයි. පොලුවලින් පහර දෙයි. ආයුධවලින් පහර දෙයි. එයින් ඔවුන් මරණයට පත් වේ. මාරාන්තික වේදනා ඇතිවේ. පින්වත් මහානාම, මෙලොවදීම විඳිය යුතු මේ දුක් සියල්ල ඇතිවන්නේ කාමය හේතුකොටගෙනය. කාමය මුල්කොටගෙනය.”

කාම රැල්ලට හසුවූ අප මේ ව්‍යසනය නෙවෙයි ද අත්විඳින්නේ? අන්න ඒ ආකාරයට සිතේ අර්බුදයට හේතුව දන්නා කෙනා කාමයෙන් ලෝකය ගිනි ගත්ත ද සිසිල් වූ සිතකින් වාසය කරනු ඇත.

බලන්න, අපගේ සිතේ හෝ බාහිර ලෝකයේ හෝ සියලු අර්බුද හඳුනා ගන්නට ශ්‍රී සද්ධර්මයේ උරුමය අපට හිමිව ඇත. ඒකාන්තයෙන් අපට රැකවරණය ලබා දෙන්නා වූ ඒ උරුමය ලබා නොගන්නා තාක් ඒ ඒ කලට එන කාම රැල්ලට, ඒ ඒ යුද්ධයට, ඒ ඒ අන්ධ මතවාදවලට අප යටත්ය. භාග්‍යවතුන් වහන්සේ පංචකාමය ද දක්වා ඇත. පංච කාමයට හසුවන ක්‍රමය දක්වා ඇත. එහි විපාකය ද දක්වා ඇත. එයින් මිදීම ද දක්වා ඇත. භාග්‍යවතුන් වහන්සේ යුද්ධයේ සුලමුල ද දක්වා ඇත. අර්බුදවල ආදීනව ද දක්වා ඇත. අර්බුදයෙන් මිදීම ද දක්වා ඇත. භාග්‍යවතුන් වහන්සේ සිත මුළා වන ක්‍රම දක්වා ඇත. එහි විපාක දක්වා ඇත. ඉන් මිදීම ද දක්වා ඇත. ශ්‍රී සද්ධර්මයෙන් හෙළිවන ධර්මතාවයන්ගෙන් පිට මේ ලෝකයේ කිසිවක් සිදු නොවන්නේය. මේ ධර්මයේ උරුමය ලබන්නට අන් ක්‍රමයක් නැත. ඒ භාග්‍යවතුන් වහන්සේම දේශනා කළ ආකාරයට ධර්මයේ හැසිරීමය. ධර්මයේ හැසිරීමෙන්ම ධර්මයෙන් සිසිල් වූ සිතක් ඇතිකර ගැනීමට අප සියලු දෙනාම අදිටන් කර ගනිමු.

දඩල්ල වාලුකාරාම වෙහෙරවැසි
ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමි

සංස්කරණය  සුසිල් ජයකොඩි

ප්‍රභාවත් ජීවිතයකට පියමං තැබීම


 0722081522

advertistmentadvertistment
advertistmentadvertistment