විටෙක ඔහු රංගන ශිල්පියෙක්, විටෙක නිවේදන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්‍ෂවරයෙක් වගේම ගායකයෙක්. මෙම බහුවිධ හැකියාවන් උපතින්ම උරුමකරගත් ඔහු සැබැවින්ම දක්‍ෂයෙක්. කලා පවුලක එකම දරුවා වන ඔහු කවුරුත් හඳුනන සාරංග දිසාසේකර. සාරංගගේ අලුත්ම ටෙලි නාට්‍ය නිෂ්පාදනය, ‘ඕණෑ ක්‍්ඍෑ’. ඔහුගේ අලුත්ම අධ්‍යක්‍ෂණයත් ළඟදීම කරළියට එන්නට නියමිතයි. අපි අහල බලමු, සාරංගගේ අලුත්ම තොරතුරු.

සාරංග නිෂ්පාදකවරයෙක් විදිහට දායක වෙන දෙවැනි ටෙලි නාට්‍යයත් විකාශය ආරම්භ වෙනවා?

ඔව්, මුලින්ම මම නිෂ්පාදනය කළේ ‘ලන්සුපතිනියෝ’ ටෙලි නාට්‍යය. දැන් විකාශය වෙන ‘ටේක් කෙයාර්’ මගේ දෙවැනි ටෙලි නාට්‍යය නිෂ්පාදනය. සති අන්තයේ රාත්‍රී 9.00ට අයි. ටී. එන්. නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. නවක අධ්‍යක්‍ෂවරයෙක් වන අනුෂ්ක රසාංජන ද සිල්වා තමයි මෙහි අධ්‍යක්‍ෂණ කාර්යය සිදු කරන්නෙ.

ප්‍රේක්‍ෂකයා වැඩිපුර කැමති චූටියාට - සාරංග දිසාසේකර

රංගන ශිල්පීන් ගැන මතක් කළොත්?

මම, දිනක්‍ෂි, රෙබෙකා දිල්රුක්‍ෂි, නවක රංගන ශිල්පියෙක් වන කසුන්, සචිනි දිල්හාරා සහ තවත් නළු නිළි පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා.

මොකක්ද මේ කතා තේමාව?

ලොකු දෙයක් කියන්න බැහැ මේ වෙලාවෙ. මොකද එහෙම වුණොත් කතාව කියැවෙන නිසා. කෙටියෙන්ම කිව්වොත් මානව සම්බන්ධතා මත පදනම්ව තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්නෙ.

ඔබේ බිරිඳ දිනක්‍ෂිත් සමග නැවතත් එක්ව රංගනයේ යෙදෙනව?

ඔව්, අපි දෙන්න නිර්මාණ කිහිපයකම එකට රංගනයේ යෙදිල තියෙනව. මේ නිර්මාණයේ චරිතය ඇයට විශේෂ වෙයි. ගමක ඉඳන් කොළඹ ඇවිත් ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියකයේ චරිතයක් තමයි ඇයට ලැබිල තියෙන්නෙ. දිනක්‍ෂි කලින් කරපු චරිත එක්ක බලනකොට වෙනස් විදිහක, වෙනස් රිද්මයක චරිතයක් රඟපාන්න අවස්ථාවක් ලැබිල තියෙනව. ඇය ඒ චරිතයට සාධාරණයක් කළා කියලත් මම විශ්වාස කරනව.

ප්‍රේක්‍ෂකයා වැඩිපුර කැමති චූටියාට - සාරංග දිසාසේකර

මේ එන ඔබේ චරිතය ගැන කතා කළොත්?

එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේම කළමනාකරුවෙක් හැටියට තමයි මම සේවය කරන්නෙ. විවාහකයෙක්. නමුත් ඒ විවාහ ජීවිතයේ තියෙන හැලහැප්පීම් නිසා මේ තරුණියත් සමග ඇතිවන සම්බන්ධයක් එක්ක ඒ චරිත තුනටම මුහුණපාන්න වෙන ගැටලු පාදක කරගෙන තමයි නාට්‍ය ඉදිරියට යන්නෙ.

රූගතකිරීම් ගැන කතා කළොත්?

මේ නාට්‍යයේ රූගතකිරීම් සිදුවෙන්නෙ කොළඹ අවටමයි. අපේ ප්‍රධානම දර්ශන තලය වෙන්නෙ ඇඟළුම් කර්මාන්ත ශාලාව. ඊට අමතරව අතුරුගිරිය, කොට්ටාව ආදී ප්‍රදේශවල තමයි වැඩි වශයෙන් රූගත කිරීම් සිදු වුණේ.

‘සල්ලි පොකුරු’ නාට්‍යයේ චූටියා සහ හේමක යන ද්විත්ව චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනව වගේම මෑත කාලයේ සම්මාන උළෙලවලදී සල්ලි පොකුරු නාට්‍යයේ චරිතය වෙනුවෙන් ජනප්‍රියම නළුවා සම්මානය ලබාගන්නත් මට හැකියාව ලැබුණා. ඊට සමගාමීව ‘සංසාරිණී’ නාට්‍යයේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ප්‍රේක්‍ෂකයාගේ වැඩි කැමැත්ත චූටියාට ද හේමකට ද?

මං හිතන්නෙ ප්‍රේක්‍ෂකයා වැඩිපුර කැමති චූටියාට. මොකද ඔහුගේ සරලකමට, අව්‍යාජ බවට සහ විනෝදකාමී බවට ප්‍රේක්‍ෂකයාගේ වැඩි කැමැත්තක් තියෙනව. සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාට ස්තූතිවන්ත වෙන්න ඕන මේ චරිත දෙක මට නිර්මාණය කර දීම සම්බන්ධයෙන්. ඒ වගේම අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා කියන්නෙ කවදත් මට ඒ වගේ වෙනස් විදිහේ චරිත හදල දෙන කෙනෙක් සහ මාව හොඳින් අධ්‍යක්‍ෂණය කරන අධ්‍යක්‍ෂවරයෙක්. කණ්ඩායමක් විදිහට සියලු දෙනාගෙන් ලැබෙන සහයෝගයත් එක්ක මමත් කරපු කැපකිරීම්වල පතිපලයක් විදිහට ඒ සම්මානය ලැබුණා කියල මම විශ්වාස කරනව.

දිනක්‍ෂි රඟපෑ විසල් ආදරේ සිනමා නිර්මාණයත් මේ දිනවල තිරගත වෙනවා?

ඔව්, විසල් ආදරේට විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබෙනව වගේම අසීමිත ප්‍රේක්‍ෂක ආදරයක් ලැබෙනව. ඒ ආදරයත් එක්ක සිනමාහල් පිරී ඉතිරී යනව. දෙතුන් වතාව වගේම හත්අටවර නරඹපු ප්‍රේක්‍ෂකයන් පවා අපිට සමාජමාධ්‍ය ඔස්සේ පණිවිඩ එවනව. තාරුණ්‍යයට ඉතාම සමීප චිත්‍රපටයක් සහ පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් නිර්මාණයක් නිසා මේ සිනමාපටයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒ ආදරය නිසා දිනක්‍ෂිත් මේ දිනවල බොහොම සතුටින්.

දිනක්‍ෂිගෙ රංගන හැකියාව ඔබ දකින්නෙ කොහොමද?

ඉස්සරට වඩා ඇයගේ රංගන හැකියාවේ ලොකු වැඩිදියුණුවක් මම දකිනව. අත්දැකීම්වලින් සන්නද්ධ වෙනවාත් එක්කම වයස මුහුකුරා යෑමත් සමග ලබන ජීවිත අත්දැකීම් නිසා ඕනෑම කෙනකුට මේක පොදු කාරණාවක් වෙනව. දිනක්‍ෂිටත් දැන් විවිධ චරිත ලැබෙනව සහ මමත් කැමතියි ඇය එවැනි අභියෝග භාරගන්නවාට. ජනප්‍රියත්වය හැකිලෙයි කියල ඇය එවැනි කළු චරිත භාර නොගෙන ඉන්නෙත් නැහැ. මෙවැනි වාණිජ මට්ටමේ ජනප්‍රිය ධාරාවේ සිනමා නිර්මාණවලට ඇය තෝරාගැනීම ගැනත් මට බොහොම සතුටුයි.

සාරංගගෙ සිනමා නිර්මාණය ප්‍රේක්‍ෂකයන්ට දැකබලාගන්න පුළුවන් වෙන්නෙ කවදාද?

මම අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයේ රූගතකිරීම් වගේම හඬකැවීම් මේ වන විට අවසන් වෙලා තියෙනව. පසුබිම් සංගීත වැඩකටයුතු මේ දිනවල කෙරෙනව. තවත් මාස දෙකතුනකින් මේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වෙයි කියල බලාපොරොත්තු වෙනව. තිරගත වන දවසක් නම් දැන්ම කියන්න අපහසුයි. බොහෝ විට මේ අවුරුද්ද අවසානයේ හෝ ලබන අවුරුද්දෙ මුල වෙයි.

නිවේදන ශිල්පියාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

හැමදාමත් වගේ නිවේදන ශිල්පියාට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනව. මේ දවස්වල හිරු ස්ටාර් හරහා තමයි මාව දකින්න ලැබෙන්නෙ.

වේදිකාවේ කටයුතු?

‘පිරිමියෙකුගෙන් පැමිණිල්ලක්’ මේ දිනවල සාර්ථකව වේදිකාගත වෙනවා. මේ වන විට විවිධ පළාත්වල දර්ශන වාර පණහකට වඩා වැඩි ප්‍රමාණයක් වේදිකාගත කරල තියෙනව. මේ නාට්‍යයේ දිනක්‍ෂි සහ මාව සජීවීව දැකබලාගන්න පුළුවන්.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment