2025 පෙබරවාරි මස 23 වැනිදා ඉරිදා
2004 අවුරුද්දේ ජනවාරි මාසයේ එක් සිකුරාදාවක උදෑසන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් උසාවිය වෙත නීති ශිෂ්‍යයකුගේ විලාසය ගත් තරුණයෙක් ඇතුළු විය. උසාවි කාමර අංක 04 බංකුවක වාඩිවුණු මේ තරුණයා මහෙස්ත්‍රාත්තුමා විසින් නඩු විභාග කරනු බලා සිටියේය. සාමාන්‍යයෙන් නීති ශිෂ්‍යයන් නඩු විභාග නැරඹීමට පැමිණීම සාමාන්‍ය සිද්ධියකි. තමා නීති ශිෂ්‍යයකු කී පමණින් පොලිසිය එසේ කියන්නාට උසාවියට ඇතුළු වන්නට ඉඩ දෙයි. අනික නීති ශිෂ්‍යයන් අඳින්නේ කළු කලිසමක් සහ සුදු අත්දිග කමිසයකි. එදා උසාවි කාමර අංක 4 ට පැමිණි මේ 28 හැවිරිදි නීති ශිෂ්‍යයාගේ නම චමින්ද උදය කුමාරය. ස්වල්ප වේලාවකට පසු ඔහු උසාවි කාමර අංක 6 ට මාරු විය. මේ සියවසේ මුල් හරියේ ජීවත් වූ භයානකම පාතාල නායකයකු වූ ධම්මික අමරසිංහ නඩු දෙකක් සම්බන්ධයෙන් එදා උසාවියට ඉදිරිපත් කර තිබිණ. අංක 6 උසාවි කාමරයේ නඩු අසන ලද්දේ මොහොමඩ් ඉර්ෂාදි නමැති මහෙස්ත්‍රාත්තුමාය. ධම්මික අමරසිංහ එම උසාවි කාමරයට ගෙනෙන විටම නැගී සිටි නීති ශිෂ්‍යයා පිස්තෝලයකින් ඔහුගේ පිටට වෙඩි තැබීය. එවිට ධම්මික බිම ඇද වැටී නැගී සිට දුවන්නට පටන් ගෙන නැවත බිම වැටුණේය. එතැනදී ඔහුගේ මරණය සිදුවිය. මේ අතර තමා ළඟ සිටි පුද්ගලයකුගේ බෙල්ලෙන් අල්ලා ගත් වෙඩික්කාර නීති ශිෂ්‍යයා තමා අසලට පැමිණියොත් පෙරකී පුද්ගලයාටත් සෙසු අයටත් වෙඩි තබන බව කියමින් පිස්තෝලය ලෙළවන්නට විය. එය උසස් තත්ත්වයේ බ්‍රෑන්ඩ් නිව් ජපන් පිස්තෝලයකි. කලබැගෑනිය දිගට යන විට නීති ශිෂ්‍යයා හතර අතේ වෙඩි තබන්නට පටන් ගත්තේය. එවිට දෙදෙනකුට තුවාල සිදුවිය. එසැණින් මිනීමරුවා වෙත කඩාපිනූ ලාන්ස් කෝප්‍රල් කෙනෙක් අවම බලය පාවිච්චි කර ඔහු යටත් කර ගත්තේය. ධම්මික අමරසිංහ යනු මිනීමැරුම් 50 කට වගකිව යුතුවූ ඉතාම දරුණු මිනිසෙකි. නීති ශිෂ්‍යයකු ලෙස පෙනී සිටි චමින්ද උදය කුමාර ඔහු මරා දමා තිබුණේ බැද්දගානේ සංජීව නමැති තවත් පාතාල නායකයකුගේ මරණයට පළිගැනීම සඳහාය. බැද්දගානේ සංජීව යනු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ ප්‍රමුඛ ආරක්‍ෂක නිලධාරියකු ලෙස රාජකාරි කළ තරුණයෙකි. ඔහු ද මිනීමැරීම, බාර් පර්මිට් දීම, කප්පම් ගැනීම, ස්ත්‍රී දූෂණය, මත්ද්‍රව්‍ය වෙළඳාම ඇතුළු බොහෝ අවකල් ක්‍රියාවල නිරත විය. කෙසේ වුවද ධම්මික අමරසිංහ සහ බැද්දගානේ සංජීව නමැති දාමරිකයන් දෙදෙනා මිය යෑම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් පහර කෑ සාමාන්‍ය ජනතාව මහත් සේ ප්‍රමෝදයට පත් විය.
ලංකා ඉතිහාසයේ උසාවියක් තුළට කඩා වැදී මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන් මුල් වරට වාර්තා වන්නේ 88, 89 භීෂණයේදීය. එවකට ගම්පහ දිස්ත්‍රික්කයේ වීරඟුල පොලිසියේ ඕ.අයි.සී. ලෙස කටයුතු කළ පුද්ගලයා සමූහ ඝාතනයක විත්තිකරුවෙක් බවට පත් විය. ඔහු විසින් ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලෙස සැක කෙරුණු දොළොස් දෙනෙකි. මේ අතර එම අවුරුද්දේ වීරඟුල ගමේ බක්මහ උළෙලේ අවුරුදු කුමරිය ලෙස තේරුණු තරුණිය ද වූවාය. ඇය ඝාතනයට පෙර සමූහ දූෂණයකට ලක් කර තිබිණ. මේ නඩුව එළියට අදින්නේ එවකට චන්ද්‍රිකා සමග කිට්ටුවෙන් වැඩ කළ ප්‍රදීප් හපන්ගම නමැති දේශපාලනඥයා ය. මේ නඩුව ගම්පහ උසාවියේ විභාග කිරීමට පටන් ගත් දවසේ උසාවියට කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවෙක් වීරඟුල පොලිසියේ ඕ.අයි.සී. ටත්, ඔහුගේ බිරියගේ පියා හෙවත් මාමණ්ඩියටත් වෙඩි තබා ඝාතනය කර ජපානයට පැන ගියේය. ඉන් පසු උසාවි ගොඩනැඟිල්ලකට ඇතුළු වී කරන ලද මනුෂ්‍ය ඝාතනය වන්නේ ධම්මික අමරසිංහ ඝාතනයයි. මෙහි තුන්වැනි ජවනිකාව මීට දින කිහිපයකට පෙර අලුත්කඩේ උසාවියේ දී පෙන්වන ලදී. ඒ, ගණේමුල්ලේ සංජීව නමැති භයානක අපරාධකරුවකු නීතිඥයකු ලෙස වෙස්වළාගත් පුද්ගලයකු විසින් විත්තිකූඩුවේදීම ඝාතනය කරනු ලැබීමය. මීළඟ අවස්ථාවේ දී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස වෙස්වලාගත් පුද්ගලයකු උසාවියකට රිංගා ඝාතනය නොකරනු ඇතැයි අපට කිව හැකිද? ඉන් පසු අධිකරණ ඇමැති ලෙස වෙස්වලාගත් පුද්ගලයකු උසාවියකට කඩා වැදී විත්තිකරුවකු ඝාතනය නොකරනු ඇතැයි අපට කිව හැකිද?
1977 පටන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රමානුකූල පාතාල සංස්කෘතියක් වර්ධනය වන්නට පටන් ගත්තේය. ඒ වනතුරු මේ රටේ ජනයා පාතාලය ලෙස දැනගෙන සිටියේ බෝගල මිනිරන් පතලත්, කහටගහ මිනිරන් පතලත් පමණි. 1980 වන විට මේ රටේ දේශපාලනඥයන් වටා පාතාලය එක් රැස් වන්නට විය. ඒ අනුව ඇතැම් දේශපාලනඥයන් සිය මෙහෙයුම් සිදු කළේ පාතාලයේ උපකාරයෙනි. ඔවුන්ට උදව් කළ පාතාලකාරයන් ජීවත් වූයේ ඒ දේශපාලනඥයන්ගේ උපකාරයෙනි. මේ එකම කාසියක දෙපැත්තකි. අමුඩය සහ ශරීරයේ පශ්චාත්භාගය අතර ඇති සම්බන්ධතාව වැනි බැඳීමකි. වර්ගවාදී යුද්ධය වර්ධනය වීමට පටන් ගැනීමත් සමගම හමුදාවෙන් පැනගිය සෙබළුන්ගෙනුත් හමුදාවෙන් පැන්නූ අවි ආයුධවලිනුත් පාතාලය පෝෂණය වන්නට විය. 1990 න් පසු මෙය තවදුරටත් පුළුල් විය. මේ සංස්කෘතිය තුළ එකෙක් කවරකු විසින් තමා මරා දමන තුරුම මනුෂ්‍ය ඝාතනවල නිරත විය. වර්ෂ 2000 වන විට මේ රටේ පාතාල කණ්ඩායම් 29 ක් තිබූ අතර සන්නද්ධ පුද්ගලයෝ දෙසීයක් ඒවායේ සාමාජිකත්වය දැරූහ. මේ පාතාල කණ්ඩායම් සමහර විට පවුල් ඉතිහාසයක් ඇති ඒවා විය. උදාහරණයක් වශයෙන් ධම්මික අමරසිංහගේ මාමා වන නොයෙල් අමරසිංහ නමැත්තා 1970 ආසන්නයේ දී දාමරික කණ්ඩායමක් මෙහෙයවූ අපරාධකාරයෙකි. පසු කාලයේ දී අතුරුදන් කරන ලද නාවල නිහාල් නමැති අපරාධකාරයා ද ධම්මික අමරසිංහගේ නෑයෙකි. 1980 වන විට දොන් අරඹේවෙල උපාලි හෙවත් සොත්ති උපාලි බිහිවිය. එවකට පැවැති ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් සොත්ති උපාලි හඳුන්වන ලද්දේ හරි අහිංසක ළමයෙක් ලෙසය. ගම්උදාවේ තණකොළ පිඩලි ඇල්ලීමේ කොන්ත්‍රාත්තු සියල්ලම සොත්ති උපාලිට ලැබිණ. අන්තිමේ දී ආණ්ඩුව පැරදුණු පසු නඩුවකට පෙනී සිටීම සඳහා බස් එකක යමින් සිටිය දී සොත්ති උපාලිට වෙඩි තබා මරනු ලැබීය. මේ රටේ මෑතකාලීන පාතාල ඉතිහාසය දෙස බැලීමේ දී ගෝනවල සුනිල්, චින්තක අමරසිංහ, කළු අජිත්, කඩුවෙල වසන්ත, මොරටු සමන්, වම්බොට්ටා, ඕල්කොට්, කිඹුලාඇලේ ගුණා, තෙල් බාලා, බ්ලූමැන්ඩල් පාරේ ප්‍රින්ස්, ආනමාලු ඉමිතියාස්, මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු නම් විශාල ප්‍රමාණයක් තිබෙන බව අපට පෙනෙයි. පාතාල නායකයා සහ අපරාධකාරයා ධර්ම දානයෙන් මර්දනය කළ නොහැකි බව අපගේ වැටහීම වේ. ඔහු මර්දනය කළ හැක්කේ ටී 56 මගින් නිකුත් කරන බුලට් දානයෙන් පමණි. අද වන විට සාමාන්‍යයක් වශයෙන් ගත් කල දිනපතාම පාහේ අලියකු ඝාතනය කරනු ලැබේ. එසේම මිනිසකු ද ඝාතනය කරනු ලැබේ. රට හැම තැනම පාතාල කණ්ඩායම් සිටී. මේ අය මැඬපැවැත්වීමට බැරි නම් ආණ්ඩුව කළයුත්තේ එම කණ්ඩායම් රෙජිස්ටර් කර ඔවුන් කරන අපරාධ කටයුතු සඳහා බද්දක් අය කිරීමය.