පාතාලය මර්දනය කළ නොහැකිද? – 2

872

ත්‍රාසයෙන්, භීතියෙන් මෙරට අළු කරවන්නට එල්ටීටීඊය අංක එකේ කාර්යයක් කරගෙන යද්දී ඊට සාපේක්ෂව තවත් බියක් ගෙන දෙමින් අපේ රටේ පාතාලය හෙවත් අන්ඩර්වර්ල්ඩ් එකක් ගොඩ නැගිණ. චොප්පෙලා, සොත්ති උපාලිලා ආදී කුප්‍රකට නම් ඇති රොත්තක් ඇති කළ ඒ පාතාලයේ මුණුබුරන් ද දැන් ඒ වැඩේ ගජරාමෙට කරගෙන යන යුගයක් අපි පසුකරමින් සිටිමු.

කොහෙන් හෝ හොයා ගන්නා හෝ ඇතැම්විට සපයා දෙන තුවක්කු කොටේකින් පොරවල් වී පාතාලයට පිවිසෙන මේ කොල්ලෝ කුරුට්ටෝ අවසානයේදී මේ මහත් සමාජයටම පිළිලයක් වෙමින් කොහේ හෝ හන්දියකදී තම ජීවිත රඟමඩලින් බැස යන තෙක්ම සිතා සිටිනුයේ තමන්ට වඩා පොරක් මේ ගම් නියම් ගම් හතකවත් නැතැයි කියාය. එසේ සිතා පොරක් වී හදිසියේම කාගෙන් හෝ සල්ලං වී නැත්තටම නැති වෙති. එහෙත් මේ ඇතැමුන් පොලිසියේ දූෂිත නිලධාරීන් හෝ මුග්ධ දේශපාලනඥයන්ගේ සේවය ලබා ප්‍රකෝටිපතියන් වී කොහේ හෝ රටකට පැන ගන්නට ක්‍රියා කරති. දැන් උන් ස්මාට් ගණයට වැටී පිටරටවල් වල සිට ගෝලයෝ හදා, ඕඩර්ස් දී සිය කුඩු, ගණිකා, මිනීමැරුම් වැනි නොමනා ව්‍යාපාර ජයටම කර ගෙන යති. එය කොතරම් උත්කර්ෂවත් ලෙස කරගෙන යන්නේ ද කියන්නේ නම් දැන් පොලිසිය භාර ඇමැති අලස් මහතා පෙර කී ලයිසන් නැති තුවක්කු කොට රජයට භාරදිය යුතු යැයි කියා පොදු සමා කාලයක් ලබා දෙන්නැයි පොලිස්පතිතුමාට උපදේශයක් ලබා දී තිබෙන බව මාධ්‍යයයන්හි ගජරාමෙට පළ කර තිබිණ. ඒ බස්නාහිර සහ දකුණ පාතාලය මුල්වී අපරාධ ගස හොලවමින් තිබෙද්දීය.

පෙරේදා දිනයේදීත් මෙකී පාතාලයට සම්බන්ධ නාඳුනන තුවක්කුකරුවන් ක්‍රියාත්මක වී මර්ඩර් කීපයකටම අවශ්‍ය ශීර්ෂ පාඨයන් ලබා දී තිබේ. කෙසේවෙතත් මෙම දිනවල සිද්ධවන පාතාලය මුල්වී කරගෙන යන ගේම් සහ මර්ඩර් නැවැත්වීමට නම් කළ යුත්තේ බලපත් නැති තුවක්කු කොට පොලිස් භාරයට ගැනීම යැයි සිතා ඇත. එසේනම් අපේ රටේ පවතින පොලිස් නිර්දේෂවලට බියවී පාතාලයෝ කී දෙනෙක් නම් තමන් අපරාධවලට පාවිච්චි කළ තුවක්කු හෝ වෙනත් අවියක් පොලිසියට භාර දෙන තෙක් අපි නොඉවසිල්ලෙන් පසුවෙමු. පාතාලය මර්දනය කිරීමට ඉතා ප්‍රාථමික ආරම්භය පුවත්පත් සිරස්තලයකට සීමා නොවේ යැයිද ප්‍රාර්ථනා කරමු. එසේ කිරීමට සිදු වන්නේ අපේ රටේ පාතාලය දෙස බැලූ කල්හි උන් කොතරම් ආරක්ෂා කිරීමට සමාජයේ උසස් යැයි සම්මත තවත් උන් පිරිසක් සැදී පැහැදී සිටින විටය. මාකඳුරේ මධුෂ්ලා පිටරටින් කුදලාගෙන එන විට උන්ට සම්බන්ධ ගමේ මන්ත්‍රීතුමාගේ සිට ගරු මැති ඇමැතිවරු දක්වා කියුම් කෙරුම් එළිදරව් වනවා බලා සිටි අපට සිදු වූයේ අවසානයේදී එම මතකයන් මධූෂ් සමගම පොළොව අභ්‍යන්තරයේ වළ දමන්නටය.

එබැවින් පොලිසිය භාර ඇමැතිවරයා ගත් මේ තීන්දුව ගැන අපට තවමත් ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමට කල් වැඩිය. එහෙත් ටියුබ් ලයිට් පත්තු වන්නේ මුලින් ගැස්සි ගැස්සීය. සර සර ගා කුඩා ශබ්දයක් ඇසුනද ටියුබ් ලයිට් එක පත්තු කර ගත්තොත් කාමරයකටම එලිය කර ගැනීමට හැකියාව පවතී. ඒ සඳහා එවැනි ටියුබ් ලයිට් සිය ගණනක් පත්තු කර ගන්නවාට තවත් අමතර වැඩ රැසක් කර ගැනීමට ආණ්ඩුවට සිදු වේ. නිකමට හෝ පාතාල කල්ලි සාමාජිකයන් සිය තුවක්කු කොට පොලිසියට දුන්නොත් මාසයකින් දෙකකින් යළිත් පාතාලයටම නොලැබෙන පියවරක් ගන්නට පොලිස් ඇමැතිට අනිවාර්යයෙන්ම සිදු වනු ඇත. මන්දයත් පසුගිය කාලයේ සිදු වූ ඇතැම් ඝාතන දෙස බලද්දී ඒවා සිදු කර තිබුණේ ටී පනස් හය වර්ගයේ ගිනි අවිවලිනි. ඒවා පාතාලයෝ ලබා ගෙන තිබුණේ පොලිසියෙන්දැයි සැකයක්, කුකුසක් මෝරමින් පැවැති නිසාවෙනි. කෙසේ වෙතත් පොලිස් ඇමැතිතුමා සතු ව්‍යාපාරික ඥානයෙන් හෝ මේ ගේම ගැහුවොත් අපේ රටේ පවතින විටෙක ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණකුලසූරිය මහතා සිනමාප්‍රාප්ත කළ පාතාලයේ ගිනි අවි සහ ගිනි කෙළිවලට තිත හෝ තිත් කොමාවක් වත් හෝ තබන්නට හැකියාව ඇති වනු නිසැකය.

advertistmentadvertistment
advertistmentadvertistment