පාන් සමග හුළං

880

ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලය ඇඟ කීරිගැහෙන නිවේදනයක් නිකුත් කර තිබෙන අවස්ථාවක මෙය ලියනු ලැබේ. අද අප කතා කරන්නේ සහල් මිල ගැනය. ඒ අතරේ ආණ්ඩුවට තරහ නොයන පරිදි රටේ ජීවන වියදම වැඩි වී ඇති ආකාරය ද මෙහි බහාලන්නට අප තීන්දු කළෙමු. පසුගියදා ජනාධිපති අනුර දිසානායක ඩඩ්ලි සිරිසේන ඇතුළු ප්‍රමුඛ පෙළේ සහල් වෙළෙන්දන් කිහිපදෙනෙක් සිය කාර්යාලයට ගෙන්වා සහල් මිල කිසිසේත්ම වැඩි නොවිය යුතු බව දන්වන ලදි. එසේම ඒ අනුව කටයුතු නොකළොත් සහල් මෝල්කාරයන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව ද ජනාධිපති දිසානායක දන්වා ඇත. මෙය ප්‍රශ්න විසඳන එක් ආකාරයකි. ප්‍රශ්නවලට අදාළ පාර්ශ්ව ජනාධිපති කාර්යාලයට කැඳවා ඔවුන්ට තේකක් බොන්නට දී මේ වැඩේ මේ විදියට කරන්නැයි ආදරයෙන් පැවැසීමට රාජ්‍ය නායකයාට හැකියාව තිබේ. ඒ ආදරය ඉතාම දරුණු රතු එළියකි. මේ රතු එළිය ගණන් නොගෙන වාහනය දිගටම ඉස්සරහට පදවාගෙන ගියොත් සහල් මෝල්කාරයන්ට සිදුවන්නේ දහයියා අනුභව කිරීමටය. මේ නිසා සහල් මෝල් කට්ටිය දමනය කිරීම ගැන අපි ජනාධිපති අනුර දිසානායකට ස්තුතිය පළ කරමු. ලංකාවේ සහල් මිල සහ ලංකාවේ කාලගුණය අතර කිසිදු වෙනසක් නැත. කාලගුණය කල් තියා නොදන්වාම වෙනස් වන්නේ යම් සේ ද සහල් මිල ද නොහිතූ වෙලාවට වෙනස් වෙයි. මේ වෙනසට මුහුණ දීමට අවශ්‍ය ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ ශක්තිය ජනතාවට නැත. මෙය සමාන වන්නේ හෙණ ගසමින් ධාරානිපාත වැසි ඇද හැලෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කොතරම් දැනුම් දුන්න ද කුඩයක් මිලදී ගැනීමට ඔවුනට සල්ලි නොතිබීමටය. කුඩයක් මිලදී ගැනීමට බැරි විට ඒ වෙනුවට හබරල කොළයක් හෝ කෙහෙල් කොළයක් හෝ ඉටි කොළයක් ඉහළා ගෙන යෑමට සිදුවෙයි. එහෙත් ඒ විකල්ප කිසිවක් කුඩයක් තරම් පලදායී වන්නේ නැත. ලංකාවේ සහල් මිල පසුගිය කාලයේදී බෙහෙවින් ඉහළ ගියේය. ඇතැම් තැන්වල කිලෝ පහේ කීරි සම්බා බෑගය විකුණන ලද්දේ රුපියල් 2200 ටය. ඉන් පසු මේ මිල රුපියල් 1750 දක්වා අඩු විය. ඉන් පසු ඩඩ්ලි සිරිසේන රුපියල් 1300 ට කිලෝ 5 කීරි සම්බා බෑග් වෙළෙඳපොළට නිකුත් කළේය. එවිට සෙසු මෝල්කාරයෝ ද කීරි සම්බා මිල කිලෝ 5 බෑගය රුපියල් 1300 දක්වා අඩු කළේය. තමා මේ රටේ සහල් අවශ්‍යතාවයෙන් 7% ත් 8% ත් අතර ප්‍රමාණයක් සම්පාදනය කරන බව ඩඩ්ලි සිරිසේන කියයි. එසේ නම් ඉතිරි 92% සම්පාදනය කරනු ලබන්නේ සෙසු මෝල්කාරයන් විසිනි. ප්‍රමුඛ සහල් ව්‍යාපාරිකයෙක් සහල් මිල අඩු කළ විට සෙසු මෝල්ලුන්ට විකල්ප දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් මිල අඩු කිරීමට හේතු වූ ප්‍රමුඛ සහල් මෝල්කාරයා අල්ලා සහල් මෝලට දැමීම ය. නැතහොත් ඔහුගේ මිල හා සමපාත වන පරිදි සහල් මිල අඩු කිරීම ය. මෙහිදී ජනාධිපති අනුර දිසානායක සහල් මෝල්කාරයන් සිය කාර්යාලයට කැඳවා ප්ලේන්ටියක් එහෙම බොන්ට දී ඔවුන් දමනය කිරීම ඉතා විශිෂ්ට ය.

ලංකාවේ ජීවන වියදම පසුගිය දිනවල ඉතා තදින් ඉහළ ගියේය. මේ වනවිට ඇතැම් තැනක පොල් ගෙඩියක මිල රුපියල් 200කි. සුපර් මාර්කට් එකේ බිත්තරයක මිල රුපියල් 65කි. කඩේ බිත්තර මිල එකක් රුපියල් 38 සිට 45 දක්වා විවිධ මිල ගණන්වලට තිබේ. එදා තිබූ බෙහෙත් හිඟය අදටත් එහෙමමය. එළවළු මිල පමණක් අඩුවී තිබේ. ආණ්ඩුව හැකි පමණින් ඉන්ධන මිල අඩු කර ඇත. ඒ ගැන අපි ස්තුතිය පුද කරමු. රාජ්‍ය අංශය මර්දනය කිරීමට ආණ්ඩුවකට පුළුවන. එහෙත් පෞද්ගලික අංශය මර්දනය කිරීමට ආණ්ඩුවකට නොහැක. කඩකාරයා ආණ්ඩුව සමග තරහ වුණොත් කඩේ වසා දමනවා ඇත. මෙවිට බලහත්කාරයෙන් හෝ කඩේ ඇර එය පවත්වාගෙන යන ලෙස කඩකාරයාට නියම කිරීමේ ශක්තිය ආණ්ඩුවකට තිබිය යුතුය. එහෙත් ධනවාදී දේශපාලන ස්වරූපය වූ ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙවැනි කෙළියක් සිදු කළ නොහැක. මෙබන්දක් සිදු කළ හැක්කේ සමාජවාදය තුළ පමණි. පැරණි සමාජවාදය තුළ පෞද්ගලික අංශයට තැනක් නොතිබූ අතර පෞද්ගලික අංශයේ වෙළෙඳුන් කොම්ප්‍රදෝරු පන්තියේ පස්ස හෝදන සට්ටැඹියන් සේ සලකා වධයට ලක් කරන ලදි. ලෙනින්, ස්ටාලින්, මාඕ සේතුන් වැනි උග්‍ර සමාජවාදීහු මේ වැඩපිළිවෙළ අනුගමනය කළ නමුත් කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ එවැන්නක් කළේ නැත. ලෝකය ඉදිරියට යන විට පෞද්ගලික අංශයේ පැවැත්ම තහවුරු කළ යුතු බව තේරුම් ගත් හෙතෙම තම රට තුළ තොග වෙළෙඳුන්ටත්, සිල්ලර වෙළෙඳුන්ටත් වැඩ කරගෙන යෑමට ඉඩ දුන්නේය. අපේ රටට අවශ්‍ය වන්නේ ද මේ ආකාරයේ මිශ්‍ර ක්‍රමයක් බව අපගේ වැටහීම වේ. මේ රටේ දැනට තිබෙන්නේ විවෘත ආර්ථිකයකි. විවෘත ආර්ථිකයක් නිතරම ධනවත් ය. එහෙත් අපේ රටේ විවෘත ආර්ථිකය අන්තිම හිඟන මට්ටමක පවතී. මේ විවෘත ආර්ථිකය රජයේ පාලනය යටතට ගනිමින් රටේ නිෂ්පාදන සහ වාණිජ අංශ දියුණු කළ හැකි බව අපගේ මතය වේ. සමාජවාදය කෙරෙහි ඉතාම ලැදියාවකින් කටයුතු කළ දක්ෂිණාංශික අර්ථශාස්ත්‍රඥයකු වූ මහාචාර්ය හැරල්ඩ් ලැස්කි ද මෙවැනි ක්‍රමයක් ගැන විශ්වාසය තැබූ බව ඔහුගේ පොත්වලින් හැඟී යයි. බඩු මිල ඉබේට පාලනය නොවේ. නිෂ්පාදනයේ අතිරික්තයක් නොතිබුණොත් බඩු මිල අහසට පියාඹන්නට පටන් ගනී. එහෙත් ආණ්ඩුව හරියාකාරව මැදිහත් වුණොත් මෙසේ පියාඹන බඩු මිල අල්ලා කූඩුවට දැමිය හැකිය. රටේ උද්ධමනය අඩුවී ඇතැයි විවිධ වෙබ් සයිට්වල සඳහන්ව තිබේ. එහෙත් ජීවන වියදම අඩුව ඇත්තේ මොකෙන්දැයි අපට නම් නොතේරෙයි. ඉතා සුළු වැටුපකින් ජීවත් වන සාමාන්‍ය ජනතාව පාන් සමග හුළං අනුභව කරන තත්ත්වයක් ඇතැම් ප්‍රදේශවල දැකිය හැකිය. මේ තත්ත්වය නැති කිරීමට නම් රටේ සේනාධිනායකයා ද වන ජනාධිපතිවරයා දරුණු මැදිහත් වීමක් කළ යුතුමය.


advertistmentadvertistment