මහින්ද ගෙන ගියේ පවුල් පාලනයක් රනිල් ගෙන ගියේ මිතුරන්ගේ ආණ්ඩුවක්
“අතීත කාලවලදී ජනපති මහින්ද රාජපක්ෂ පවුල් පාලනයක් ගෙන ගියා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිතුරන්ගේ ආණ්ඩුවක් පවත්වාගෙන ගියා. අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමෙන් පසුවයි, ඉතිහාසයේ කවදාවත් නැති තරම් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පාලනයක් උදාවී ඇත්තේ.”
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා මඩකලපුවේ චෙංකලඩි ප්‍රදේශයේදී ජාතික ජන බලවේගය සඳහා පැවති ප්‍රචාරක රැලියකදී මෙසේ පැවසීය.
එරාවුර් පත්තු ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ කරන අපේක්ෂකයන්ට සහාය දැක්වීම සඳහා මෙම රැස්වීම පැවැත්විණි.
ජාතික ජන බලවේගය මඩකලපුව ආසන සංවිධායක කේ. තිලගනාදන් මහතාගේ නායකත්වයෙන් යුත් මෙම ප්‍රචාරක රැස්වීමේදී ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා තවදුරටත් අදහස් දක්වමින්,
“රජය බලයට පත්වී ගතවී ඇත්තේ මාස පහයි. නීතිය සහ යුක්තිය ජයගත යුතුයි. ජාතික ජන බලවේග ආණ්ඩුව කවදාවත් නීතිය උල්ලංඝණය කර නෑ. මේ රට නාස්ති කරපු අපරාධකරුවන් එක පාරටම අත්අඩංගුවට ගන්න බෑ.
මේ රටේ දූෂණය නාස්තිය ඉවත් කළ නියම ජනාධිපති කෙනෙක් අද ඉන්නවා. හොඳම පාර්ලිමේන්තුව තෝරා පත් කරගත් ජනතාව ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන සභා ආයෙත් දූෂිතයන්ට භාර දෙන්න යනවාද කියලා හිතලා බලන්න.
පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමත් සමග ගම්මන්පිල ඇතුළු බොහෝ දේශපාලකයන් කලබලයට පත්වෙලා. අතීත කාලවලදී දේශපාලකයන් අත්අඩංගුවට ගන්නා විට ජනතාව පාරට බැස විරෝධතා දැක්වූවා.
නමුත් අපේ රජය තුළ මර්වින් සිල්වා, චාමර සම්පත් සහ පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් විට මිනිස්සු කවදාවත් විරෝධතා දක්වන්න ඉදිරිපත් වෙන්නේ නෑ. මේ සියලු අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන සාධාරණ යැයි විශ්වාස කරමින් ජනතාව පැත්තකට වී සිටිනවා.
අද ජනාධිපති, ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු වරප්‍රසාද අවස්ථාවන්, සුඛෝපභෝගී පහසුකම් අහිමි මහජන සේවයක් නඩත්තු කරනවා. අපි ජනතාවට ආර්ථික අර්බුදයක් ඇති කළ යුතු නෑ.
ජාතික ජන බලවේගයේ සාමාජිකයන් මේ රටේ ජනතාව වෙනුවෙන් සියල්ල කැප කරමින් මෙලෙස මහන්සි වී වැඩ කරනවා. අපේ ජනතාව මේ ගැන හොඳින් දැනුවත් විය යුතුයි. මේ රටේ පළමු වතාවට සාමාන්‍ය පුරවැසියෙකුට ජනාධිපති වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඔහුගේ පාලනය යටතේ මේ රටේ යහපත් දේවල් සිදුවිය යුතුයි.
රට සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම සඳහා රටේ ජනතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය ශක්තිමත් කළ යුතුයි.
අද පාසල් සිසුන්ගේ උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් දුන්නා. ප්‍රාථමික අධ්‍යාපන මුලපිරීම සඳහා තවත් ප්‍රදාන සහ රජයේ නිලධාරීන්ගේ වැටුප්ද වැඩි කර තිබෙනවා. කිරිපිටි මිල අඩුකර තිබෙනවා. විදුලි බිල්පත් අඩු කර තිබෙනවා.
උතුරු නැගෙනහිර, දකුණේ සහ කඳුකරයේ කියලා කිසිදු භේදයකින් තොරව සියලු ජනවාර්ගික ජනතාව එක්සත් වී ජාතිවාදයෙන් තොරව මේ රට පාලනය කරන ආණ්ඩුවක් දැනට ක්‍රියාත්මක වනවා.
රටේ ජනතාවට දූෂණයෙන්, නාස්තියෙන් සහ ජාතිවාදයෙන් තොර දේශපාලන ක්‍රියාවලියක ජීවත් වෙන්න පුළුවන්. මෙම යහපත් තත්ත්වය දිගටම පවත්වා ගැනීමට පළාත් පාලන මැතිවරණයේදී දූෂණයෙන් හා වංචාවෙන් වැළකී සිටීමට ජනතාව ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් තෝරා පත් කරගත යුතුයි.
මේ රටේ නැවතත් යුද්ධයක් ඇතිවීමට අපේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම තමයි මේ රටේ ජාතිවාදයක් නිර්මාණය කරන්න, යළි ජාතිවාදීන්ට ඉඩ දෙන්නේ නෑ… යැයි අමැතිවරයා තවදුරටත් පැවසීය.
කාත්තන්කුඩිය – සිහාරා ලතීෆ්