ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරගය අද

136

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් යුතු එක්දින තරගාවලියේ පළමු තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවැත්වේ.

දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරූ 2.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් ද ඇෆ්ගනිස්තාන කණ්ඩායම හෂ්මතුල්ලා ශහිඩි විසින් ද මෙහෙයවනු ලබයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) එක්දින ශ්‍රේණිගත කිරීම්හි 7වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව රැඳී සිටින අතර, ඇෆ්ගනිස්තානය 9 වැනි ස්ථානයේ පසු වේ.

දෙරට අතර එක්දින පිටියේ මේ දක්වා තරග 11ක් පවත්වා ඇති අතර, ඉන් තරග 07ක ජය ශ්‍රී ලංකාවටද, තරග 4ක ජය ඇෆ්ගනිස්තානයටද හිමි වී ඇත.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අවසන් වරට එක්දින තරගයකදී හමු වූයේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී වූ අතර එහිදී ශ්‍රී ලංකාවට කඩුළු 7ක පරාජයක් හිමි විය.

මේ වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සමගින් එක්දින තරගාවලිය ජය ගැනීමට සමත් වූයේය.

මෙම තරගාවලියේදී ඉදිරිපෙළ පිතිකරුවන්ගේ මෙන්ම මැදපෙළ පිතිකරුවන්ද සිය වගකීම මනාව ඉටු කළහොත්, මෙම තරගාවලිය ජය ගැනීම ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් නොවනු ඇත. මන්ද පන්දු රැකීම හා පන්දු යැවීම අතින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යම් මට්ටමකට පැමිණ ඇති බව සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරගාවලියේ දී පෙන්නුම් කළේය.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ෂෙවෝන් ඩැනියෙල්, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, දිල්හාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන්

ඇෆ්ගනිස්තාන සංචිතය

හෂ්මතුල්ලා ෂාහිඩි (නායක) රහමට් ෂා, රහ්මානුල්ලා ගුර්බාස්, ඉක්‍රම් අලිඛිල්, ඉබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, අස්මතුල්ලා ඕමාර්සායි, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, කයිස් අහමඩ්, නූර් අහමඩ්, මුජීබ්‍රාහ්මාන්, ෆාරුකි, නවීඩ් සද්‍රාන්, ෆරීඩ් අහමඩ්.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment