පැය 48 න් මරු කැඳවන මාරාන්තික බැක්ටීරියාවක් ජපානයේ පැතිරෙයි

577

මාරාන්තික ‘මස් අනුභව කරන බැක්ටීරියාවක් ’ ජපානයේ පැතිර යමින් පවතී. මෙම බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසක් වාර්තා වී ඇති බව එරට මාධ්‍ය කියයි. මෙම රෝගය Streptococcal toxic shock syndrome යනුවෙන් හැඳින්වේ.

මෙම වසරේ ජුනි 2 වන විට බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් 977 ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ වාර්තා වූ මුළු රෝගීන් ගණන 941 ඉක්මවා ඇත.

මෙහි ආරම්භක රෝග ලක්ෂණ උණ, මාංශ පේශි කැක්කුම සහ වමනය වේ. රෝගය වර්ධනය වන විට, අඩු රුධිර පීඩනය, වේගවත් හෘද ස්පන්දන සහ අවයව අසමත් වීම වැනි වඩාත් දරුණු රෝග ලක්ෂණ ඇති විය හැක.

‘මස් අනුභව කරන බැක්ටීරියාවක්‘ නිසා ඇති වන මෙම රෝගයෙන් 30% ක මරණ අනුපාතයක් ඇති අතර පැය 48 ක් තුළ මාරාන්තික විය හැකිය. ටෝකියෝ කාන්තා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය කෙන් කිකුචි පැවසුවේ බොහෝ මරණ පැය 48ක් ඇතුළත සිදු වන බවයි. රෝගයේ මූලික රෝග ලක්ෂණ හඳුනාගෙන පැය 48ක් ඇතුළත රෝගීන් මිය යා හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

මෑතකදී ශල්‍යකර්මයකට භාජනය වූ පුද්ගලයින් හෝ විවෘත තුවාල ඇති අයට මේ රෝගය ආසාදනය විය හැකි අතර රෝගය වැළැක්වීමේ පියවර වශයෙන් හොඳ සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතුය. 2022 අගභාගයේදී යුරෝපා රටවල් පහකින් මේ රෝගය වාර්තා විය.

එම, ආසාදනයට ගොදුරු වූ 77 දෙනෙකු මෙම වසරේ මුල් කාර්තුව තුළ මියගොස් ඇති බව ජපන් මාධ්‍ය පවසයි. මෙම වසරේ මේ දක්වා කාලය තුළ එම ආසාදනයට ගොදුරු වූවන් 977 දෙනෙකු ජපානයෙන් වාර්තා වී ඇති අතර එය පසුගිය වසර පුරා ජපානයෙන් වාර්තා වූ එම ආසාදනයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාවට වඩා ඉහළ සංඛ්‍යාවක් බව වාර්තා වී තිබේ.

කුඩා ළමුන් හා වැඩිහිටියන් අතර පැතිර යන මෙම ආසාදනයට ගොදුරු වන සෑම 10 දෙනෙකුගෙන්ම 3 දෙනෙකු මියා යෑමේ අවදානමක් පවතින අතර එම ආසාදනයේ මරණයට පත්වීමේ හැකියාව සියයට 30 ක් දක්වා ඉහළ අගයක් ගන්නා බව වෛද්‍යවරු පවසති. උණ හා උගුරේ ආසාදනය මෙම බැක්ටීරියා ආසාදනයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර කමපන තත්ත්වය මත රෝගීන් මිය යන බව වෛද්‍ය මතයයි.

චතුර පමුණුව සහ ඒමන්ති මාරඹේ

බය වෙන්න දෙයක් නෑ – WHO තවම කියා නැහැ

ඒත් අපි අවධානයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ

ජපානය තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින මාරාන්තික Streptococcal toxic shock syndrome නමැති බැක්ටීරියා විශේෂය සම්බන්ධයෙන් මෙරට දැඩි අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය, සමිත ගිනිගේ මහතා ‘දිවයින’ට ඊයේ (17දා) ප්‍රකාශ කළේය.

මෙම මාරාන්තික බැක්ටීරියාවෙන් මෙතෙක් මෙරටට කිසිදු බලපෑමක් ඇති වී නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ව අනතුරු ඇඟවීමක් හෝ දැනුම්දීමක් මේ දක්වා සිදුකර නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

පුවත් වාර්තා කර තිබූ ආකාරයට මෙය බරපතළ තත්ත්වයක් නොවන බවත්, කලාතුරකින් සංකූලතා ඇතිවන මෙම බැක්ටීරියාව සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මාසයේ සිට ජපානයේ සෞඛ්‍ය අංශ අධ්‍යයනය කරමින් පසුවන බවත් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment