පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලෙන් ධීවර සංස්ථාව මගින් මිලදී ගනු ලැබූ මාළු සඳහා එම වෙළෙඳුන්ට නොගෙවූ බව කියන කෝටි ගණනක මුදල් සම්බන්ධයෙන් විගණන වාර්තාවක් කැඳවා ඇතැයි ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
මුදල් නොගෙවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම කළමනාකරුව ඉවත් කර වෙනත් කළමනාකරුවකු පත් කර ඇති බවත් ඔහු යටතේ මෙම විගණන වාර්තාවක් කැඳවා මාළු වෙළෙඳුන්ට ගෙවිය යුතු මුදල් ගෙවීම් සිදු කරන බවත් ධීවර සංස්ථාවේ සභාපති තුෂාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවැසීය.
එහෙත් තම ව්‍යාපාරිකයන්ට ලැබිය යුතු රුපියල් කෝටි ගණනක මුදල් ධීවර සංස්ථාව මගින් නතර කරනු ලැබුවේ අදාළ මුදල් භාර උසස් නිලධාරියා මාරු කළාට පසු යැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ ව්‍යාපාරිකයෝ කියති.
අදාළ නිලධාරියා තමන් සමග සිදු කළ ව්‍යාපාර වෙනුවෙන් ගෙවීම් නිසි ආකාරයට කරගෙන ගිය බවද හිටි හැටියේ ගෙවීම් නතරවුණේ අදාළ මුදල් සංස්ථාවේ වෙනත් කාර්යයන් සඳහා යොදවා ඇති බවට සැකකරන බවද මත්ස්‍ය ව්‍යාපාරිකයෝ පැවැසූහ.
නෝමන් පලිහවඩන