පිට අය ආවොත් තෙල් මිල අඩුවේ

245


මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින මිල ගණන්වලට වඩා අඩු මුදලකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී ඇත.

විදේශීය සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවිය සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිත වේ. චීනයේ සයිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ අමෙරිකාවේ ආර්.එම්. පාක්ස් යන සමාගම් ත්‍රිත්වය සඳහා මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අවසර ලබාදී තිබේ.

එම සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාවේ මිලට වඩා සැලකිය යුතු මට්ටමක අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති අතර මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් එම සමාගම්වල නියෝජිතයින් අතර එකඟතාවන්ට පැමිණීමෙන් පසුව අඩු මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබාදීමට නියමිතය.

මෙම තත්ත්වය තුළ තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය වීම සංස්ථාවේ ඉන්ධන ඉල්ලුම අඩුවීම සහ රටේ ඉන්ධන අර්බුධයක් ඇතිවීමේ තත්ත්වයන් සමනය වනු ඇති බවට බලශක්ති අමාත්‍යංශය විශ්වාෂය පළ කර සිටී. මේ වන විට ඉන්ධන ආනයනය සඳහා රජය මසකට ඩොලර් මිලියන 450ක සාමාන්‍යයක් වැය බරක් දරන අතර නව සමාගම් ත්‍රිත්වය මසකට ඩොලර් මිලියන 120 බැගින් ඉන්ධන ආනයනය කරනු ඇති බවට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සංස්ථාව කියයි.

එමඟින් ඉන්ධන ආනයනයට යන වියදම මෙරටට අඩුකර ගත හැකි බවද සංස්ථාව පෙන්වාදෙයි. ඊට අමතරව මෙම විදෙස් සමාගම් ත්‍රිත්වය වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක ඉන්ධන ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් භාණ්ඩාගාරයට පවතින වැයබර ද ක්‍රමයෙන් අඩු වනු ඇති බව සඳහන් වේ.

ගිවිසුම් කාර්යයන් අවසන් වු පසු මෙම සමාගම්වලට ඉන්ධනහල් 150ක් ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන අතර අනතුරුව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් විවෘත කර මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමට හැකිවනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment