පිය පුතු දෙදෙනා සුවිසල් නිවසක කසිප්පු පෙරළා

69

කාලයක් තිස්සේ කොටුගොඩ ප්‍රදේශයේ සුවිසල් නිවසක ඉහළ සහ පහළ මහලේ රහස් කාමර දෙකක පිය පුතු දෙපළක් විසින් පවත්වාගෙන ගිය මහා පරිමාණයේ කසිප්පු ස්කාගාරයක් වටලා එම පිය පුතු දෙදෙනා සමඟ කසිප්පු පෙරීම සඳහා යොදා ගන්නා ගෝඩා මිලිලීටර් 3,240,000 ක් අඩංගු බැරල් 18 ක් හා පෙරීමේ උපකරණ කිහිපයක් 26 වෙනිදා අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමට හැකි විය.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණි.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 83 සහ 38 වියේ පසුවන්නන් වන මෙම පිය පුතු දෙපළ කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

පියා විසින් ඉහළ මහලේ සකස් කරන ලද රහස්‍ය කාමරයක පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයේ තිබී ගෝඩා මිලිලීටර් 1,800,000 අඩංගු බැරල් 10ක් හා පෙරීමේ උපකරණ කිහිපයක් ද පුතු විසින් පහළ මහලේ සකස් කරන ලද රහස්‍ය කාමරයක පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරය තුළ තිබී ගෝඩා මිලිලීටර් 1,440,000 අඩංගු බැරල් 8ක් සමඟ පෙරීමේ උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිනුවන්ගොඩ පොලිසියට භාර දෙන ලදී.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ 1 නාලක සේනානායක යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක රත්නායක, පොලිස් සැරයන්වරුන් වන පුෂ්පකුමාර (2284), බණ්ඩාර (71182) හා පොලිස් කොස්තාපල්වරුන් වන සේනානායක (79413), ප්‍රදීප් (30190), ජනගේෂ් (104916) යන නිලධාරීන් වැටලීමට එක් විය.

ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment