පසුගිය සතියේ අපේ දේශපාලන කරළිය උණුසුම් දේශපාලන වාද විවාද සංවාදවලින් පිරුණු එකක් වී තිබුණේ 2025 පළාත් පාලන මැතිවරණයේ තීරණාත්මක ප්‍රතිපලයත් සමගයි. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර මෙම මැතිවරණයේදී උණුසුම් ඡන්ද සටනක් පැවතියත් බොහෝ දෙනකු විශ්වාස කළේ මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය මේ මැතිවරණයේදීත් ඉතා ඉහළ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගනු ඇතැයි කියාය. ජනාධිපතිවරයාගේ කතා ඇසූ ජනතාව පෙන්නුම් කළ මිත්‍රත්වය හා සුහදතාවය මීට පෙර දකුණේ කිසිදු සිංහල දේශපාලනඥයෙකුට ලැබී නැති තරම්ය. මේ නිසා බොහෝ දෙනෙක් උතුරු නැගෙනහිර මුළු බලයම බන්දේසියක තබා උතුරේ ජනතාව මාලිමාවට දෙනු ඇතැයි විශ්වාස කළහ. අනිත් පැත්තෙන් ආණ්ඩුව උතුරු නැගෙනහිර ජනතාව වෙත ලබාදෙන්නට පොරොන්දු වී තිබූ ජයග්‍රහණ ද සුළුපටු නොවේ.

ගමේ බලය ගන්න අනුර ගෙනා තර්කය

ඒ හැරුණු විට දකුණේ රජයේ සේවකයන්, ගොවි ජනතාව, රාජ්‍ය සේවාවන්හි සේවා සපයන්නන් පුද්ගලික අංශයේ සේවකයන් හා සාමාන්‍ය ගැමියන් මෙන්ම නාගරික ප්‍රදේශවල ඡන්ද දායකයින් මීට මාස හයකට පෙර ආණ්ඩුව කෙරෙහි තබා තිබූ විශ්වාසය හා බලාපොරොත්තුව මේ මාස හයට පළුදු වූයේ යැයි කියන්නට අර්ථසම්පන්න කරුණු කාරණා හා සාධනීය සාධක කිසිවක් නොතිබිණි. ඇරත් අනුර ජනාධිපතිතුමා ගමේ බලය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉතා හොඳ දේශපාලන සමීකරණයක් ද තාර්කිකව ඉදිරිපත් කරමිනි.

“අපි හොරකම් කරන්නේ නෑ. අපි ජනතාවගේ මුදල් බදු මුදල් නාස්ති කරන්නේ නෑ. අපි ජනතාවගේ මුදල් අනවශ්‍ය දේවල්වලට වියදම් කරන්නේ නෑ. එහෙම මහත් කැපවීමෙන් ඉතුරු කරන සල්ලිවලින් අපි යම් කොටසක් ගමට ප්‍රතිපාදන යවනවා. එතකොට ඒ ප්‍රතිපාදනවලින් ජනතාවට සේවය කරන්න ගමේ ඉන්නේ හොරු නම් ඒ ප්‍රතිපාදන ගමේ ජනතාවට ලැබෙන්නේ නෑ. ඒගොල්ලෝ ඒවා අතරමගදි කොල්ල කනවා. එහෙම නම් මේ රටේ ජනතාව ජනාධිපතිකම මාලිමාවට දුන්නා වගේම, පාර්ලිමේන්තු බලයත් ජනතාව මාලිමාවට දුන්න වගේම, ගමේ පුංචි ආණ්ඩුවේ බලයත් මාලිමාවටම දිය යුතුයි. එතකොටයි ජනතාවගේ බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන් ඉටුවන්නේ.”

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙලෙස හැඟුම්බරව ඉදිරිපත් කරන ලද යෝජනාව හා ආයාචනය නිසිලෙස ගත් ගමේ ඡන්දදායකයෝ ප්‍රතික්ෂේප නොකරනු ඇතැයි අනිත් පක්ෂවල බොහෝ දෙනෙක් විශ්වාස කළහ. මේ නිසා ගියවර මහ මැතිවරණයේ තරමට නැතත් යම් සැලකිය යුතු සාධනීය ජයග්‍රහණයක් මෙවරත් මාලිමාව ලබා ගනු ඇතැයි බහුතරයක් දෙනා බලා සිටියහ.

බලාපොරොත්තු වූවා සේම මතුපිටින් බලන කල ඉතා ඉහළ ජයග්‍රහණයක් ලබා ගන්නට මාලිමාව සමත් විය. තරගයට නිරාවරණය වූ මහනගර සභා ගණන 28කි. නගර සභා ගණන 36කි. ප්‍රාදේශීය සභා ගණන 275 කි. සියල්ලේම එකතුව ගත් කල පළාත් පාලන ආයතනය 339කි. මේ අතරින් මහ නගර සභා 23ක්, නගර සභා 26ක් සහ ප්‍රාදේශීය සභා 217ක් ඇතුළුව පළාත් පාලන ආයතන 265කම ජයග්‍රහණය ලබා තිබුණේ මාලිමාවයි. එහෙත් ප්‍රශ්නය වූයේ පසුගිය මහ මැතිවරණය හා සංසන්දනය කර බලද්දීය. එහිදී මාලිමාව ලබාගෙන තිබූ ඡන්ද 68 ලක්ෂයෙන් ඡන්ද ලක්ෂ 23ක් ම මෙවර මාලිමාවට අහිමි වීම මෙවර ඡන්ද ප්‍රතිඵලයේ දී කැපී පෙනෙන කාරණාවක් විය. ඒ හැරුණ විට ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන 265 අතරින් පළාත් පාලන ආයතන 120 කම විපක්ෂය ලබාගත් මන්ත්‍රීවරු සංඛ්‍යාවේ එකතුව බලන විට මාලිමාවේ මුළු ගණනට වඩා වැඩිය. ආයතන 20කම මාලිමාවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව විපක්ෂය ලබාගත් මන්ත්‍රීවරු සංඛ්‍යාව හා සමාන විය.

බලය අඩුවෙන්න මාලිමාව හේතු පහදයි

මේ තත්ත්වය තුළ ආණ්ඩු පක්ෂය බරපතළ අර්බුදයකට මැදිවූයේ පළාත් පාලන ආයතන 140කම බලය මාලිමාවට ලබා ගැනීම හිතන තරම් පහසු කාර්යයක් ලෙස පෙනෙන්නට නොතිබීම තුළයි. මේ නිසා ආණ්ඩු පක්ෂයේ මෙම ජයග්‍රහණය තමන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් සමාජයට පෙන්වන්නට උත්සාහ කළත් අභ්‍යන්තර සාකච්ඡාවලදී ඔවුන් සිටියේ මේ ලබාගත් ප්‍රතිඵලය ගැන නොසතුටකය. මහ ඡන්දයට වඩා ලක්ෂ විසි තුනකින්ම ඡන්ද ප්‍රමාණය පහත වැටීම කිසිලෙසකත් ආණ්ඩු පක්ෂයට දේශපාලනමය වශයෙන්ම පිරිමසා ගත හැකි පාඩුවක් වූයේ නැත.

කාරණාව එසේ වුවත් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෝ විවිධ මාධ්‍ය ඔස්සේ එක එක කතා මේ ගැන කියන්නට පටන් ගත්හ.

“අපිට යම් ප්‍රමාණයකට මිනිස්සු ඡන්දය දුන්නේ නෑ. ඒකට හේතුව අපි මේ හොරුන්ට දඬුවම් නොදුන්න නිසා. මේ හොරු ටික අල්ලලා ඇතුළට නොදාපු නිසා…” පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි මහත්මිය ලක්ෂ විසි තුනක ඡන්ද ප්‍රමාණයක් තමන්ට අහිමි වීම ගැන පාර්ලිමේන්තුවේදී හුවා දැක්වූයේ එසේය.

“වෙනදා ඡන්දය පැවැත්වෙන්නේ නිවාඩු දවස්වල. මේ පාර ඡන්දය තිබුණේ සතියේ දවසක. ඒ කියන්නේ ජනතාව වැඩ කරන දවසක. ඒ හින්දා ජනතාව වැඩට ගියා මිස ඡන්ද පොළට ගිහිල්ලා නෑ. පහුගිය සිංහල අවුරුද්දට ජනතාව නිවාඩු ගත්තා. ඉස්සරහට වෙසක් එකටත් නිවාඩුවක් ගන්න තියෙනවා. එහෙම තියෙද්දි ඒ දෙක මැදට අහුවුණොත් ඡන්දෙට නිවාඩුවක් දාන්න ජනතාවට අපහසු වෙලා තියෙනවා. ඒකයි ඡන්ද ප්‍රමාණයේ යම් කිසි පසුබෑමක් තියෙනවා නම් තියෙන්නේ.” නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ තම පක්ෂයේ ඡන්ද අඩුවීම ගැන සාධක පෙන්වන්නට උත්සාහ කළේ එසේය.

කවුරු කෙසේ මොනව කීවත් මේ මැතිවරණයේදී යම්තාක් ජයග්‍රහණයක් ලබාගෙන සතුටු වන්නට පක්ෂයක් තිබේ නම් ඒ වූ කලී “ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය” බවට සැකයක් නැත. ඔවුන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිනා ගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 37කි. ඒ අතරට මහ නගර සභා 3ක් එක් නගර සභාවකුත් හිමිවීම ඔවුන්ට අනුව සුළුපටු ජයග්‍රහණයක් නම් නොවේ.

මෙවර කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගන්නට සමගි ජන බලවේගය අපොහොසත් වුවත් මාලිමාවට ඔවුන් ලබා දුන් තරගකාරීත්වය නම් සුළුපටු නොවේ. මැතිවරණයේදී ඔවුන් මන්ත්‍රීවරුන් 1767 දිනාගන්නට සමත් වූයේ ඡන්ද ලක්ෂ 22ක් ඉක්මවූ සංඛ්‍යාවක් ලබා ගනිමින් 22% ඡන්ද ප්‍රතිශතයක් පවත්වා ගනිමින් වීම විශේෂත්වයකි. ඔවුන්ට සෘජුවම බලය පිහිටුවාගත හැකි පළාත් පාලන ආයතන සංඛ්‍යාව 13කි. තවත් ආයතන සියයකට අධික සංඛ්‍යාවක බලය අල්ලා ගැනීමට නම් ඔවුන්ට විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සහයෝගයක් ලැබිය යුතුය. පසුගිය දිනවල සජිත් ප්‍රේමදාසගේ දුරකථනයට කිසිදු විවේකයක් නොමැති වූයේ ඒ සඳහා බොහෝ සාකච්ඡා විපක්ෂයේ සිටින ලොකු කුඩා පක්ෂ සමග නිරන්තරයෙන්ම පැවතෙමින් තිබූ නිසා වන්නට ඇත.

රටේ රාජපක්ෂලා නිදොස් කොට නිදහස්

මැතිවරණයේ මෙවර මහජන ඡන්දය හැසිරී තිබෙන ආකාරය නිරීක්ෂණය කළ බොහෝ දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වූයේ පළාත් පාලන ආයතන කිසිවක බලය ලබා ගැනීමට නොහැකි වුවත් මෙවර පුංචි ඡන්දයේ කැපී පෙනෙන ජයග්‍රාහකයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ඡන්දයෙන් ලබාගත් ඡන්ද ප්‍රමාණය 954,517ක් වූ අතර ප්‍රතිශතය 10% කට ආසන්න ගණනකි. ඒ මගින් ලබාගත් අපේක්ෂක සංඛ්‍යාව 742කි. මෙය ඔවුන්ගේ මට්ටමින් ඉතාමත් කැපී පෙනෙන තත්ත්වයක් වන්නේ මහ මැතිවරණයෙන් ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණය හා ඡන්ද ප්‍රතිශතය හා සසඳා බලද්දීය. 3%ක් ව තිබූ ප්‍රතිශතය 10% දක්වා ඉහළ නංවා ගැනීම 300% වැඩි වීමක් බව බොහෝ නිරීක්ෂකයන්ගේ පිළිගැනීමයි.

මෙම ජයග්‍රහණය ආරංචි වීමෙන් පසු නව වැනිදා උදේ නාමල් තම ආධාරකරුවන්ට, මිතුරන්ට හා පක්ෂයේ නිලධාරීන්ට තමන් හමුවන්නයි කීවේය. මුලින්ම ඔවුන්ට නාමල් ස්තුති කළේ ඉතා අඩු ලන්සුවක හා තක්සේරුවක මෙතෙක් තිබූ පක්ෂයේ “මහජනය ආකර්ෂණය” මේ සා ඉහළ තැනකට ඔසවා තබා ගැනීමට ඔවුන් ඇප කැපවෙමින් තමන් වෙනුවෙන් කළ මැතිවරණ මෙහෙයුම මතක් කරමිනි.

සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්, රේණුක පෙරේරා, දමිත වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ ආධාරකරුවන් හා හිතවතුන් කිහිප දෙනෙක්ම එහි සිටියහ. මේ අතර ආචාර්ය උදය ශ්‍රී කාරියවසම්, මහාචාර්ය චන්දන උඩවත්ත, මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා ඇතුළු ආර්ථික විශේෂඥයන් කීප දෙනෙකු ද සිටියහ.

දැන් ඉතින් අපෙන් ඈත්වෙච්ච අපේ ඡන්දදායකයෝ අපේ පාක්ෂිකයෝ යළිත් ටික ටික අපි ළඟට ආකර්ෂණය වෙන ආකාරයේ රිද්මය පේන්න පටන් අරන් තියෙනවා. අපි අපිට වැරදිච්ච තැන් හොයාගෙන ඒ වැරදි හදාගෙන ඉදිරියට යන ක්‍රමවේදය සකස් කරගන්න ඕන. මට ඒකට ඔබතුමන්ලාගේ උපරිම සහයෝගය අවශ්‍යයි.

“පොඩ්ඩක් නෙවෙයි මිලියන පහක් අපෙන් ඈත්වෙලා අනිත් පැත්තට ගිහින් තියෙනව. අපි ඒ මිලියන පහ ආපහු අපේ ළඟට ගන්න ක්‍රමවේදය සකස් කරගන්න ඕන. ඒ සඳහා ඔවුන් තුළ විශ්වාසය ඇති කරන වැඩපිළිවෙළක් අපි හදල සමාජයට ඉතා ඉක්මනින් ප්‍රදර්ශනය කරන්න ඕන…” උදය කාරියවසම් ඒ සඳහා යම් යම් යෝජනා ද සහිතව අදහසක් ඉදිරිපත් කළේ එසේය.

ඒ ගොල්ලෝ රාජපක්ෂවරුන්ව නිදොස් කොට නිදහස් කරලා ඉවරයි. දැන් අපට තියෙන්නෙ අපි කෙරෙහි කලකිරවන්න මේ ආණ්ඩුව හිතාමතා හදල ගොතලා ජනතාව අතර පතුරුවා හරිපු හද්ද පල් බොරු ටික ජනතාව ඉදිරියේ පෙන්වා දෙන එක විතරයි. මං හිතන්නේ අපෙන් මිදිලා එහා පැත්තට ගිය මිලියන පහක ජනතාව ආයෙත් අපි ළඟට ගන්න එක ඒ නිසා ඉදිරියේදී අමාරු වෙන එකක් නෑ.

වැඩේ හරියටම කළේ උතුරු නැගෙනහිර අයලු

මේ සාකච්ඡාවෙන් පසුව එතන සිටි කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතා මුණගැසෙන්නට විජේරාම මාවතේ නිල නිවසට ගොස් සිටියහ.

“හැමෝම කියන්නේ මේක නාමල්ට ලැබුණු විශේෂ ජයග්‍රහණයක් කියලා. මට උදේ ඉඳලා ටෙලිෆෝන් කරලා හුඟක් අය කතා කරලා ඒ ගැන කිව්වා…” මහින්ද ඒ ගැන කියමින් නාමල්ට සුබ පතන විට නාමල් නිහතමානීව ඒ සුභ පැතුම් භාරගත්තේය.

“මට ඒකට පුංචි කාරණාවක් එකතු කරන්න ඕන. ජයග්‍රහණය මගේ කියලා කවුරු හරි කියනව නං මම ඔවුන්ට ඉතිහාසයේ යම් කාරණාවක් මතක් කරලා දෙන්න කැමතියි. අරගලය වෙලාවේ අපේ පාක්ෂිකයෝ අපේ ආධාරකරුවෝ හිතවත්තු බරපතල විදියට සංවිධානාත්මක පිරිස්වල අඩන්තේට්ටම්වලට ලක්වුණා. ඒවා මෙහෙයෙව්වෙ කවුද කියල දැන් අපි හොඳටම දන්නවා. අපේ මිනිස්සුන්ට ගැහුවා, හිරිහැර කළා, දේපළ ගිනි තිබ්බා, වාහන පිච්චුවා. කොයිතරම් විනාශයක් මේ අය සිද්ධ කළාද කියලා කාටවත් රහසක් නෙවෙයි.

ඊට පස්සෙ අපේ එක රැස්වීමකට එන්න මිනිහෙක් හොයාගන්න බැරුව ඉන්න මොහොතක තමයි අපි ගම්වලට ගිහිල්ලා ඒ ගමේ තරුණ පිරිස් ආමන්ත්‍රණය කළේ. එදා සමහරු අපිව ප්‍රතික්ෂේප කළා. හැබැයි එක්තරා පිරිසක් මාත් එක්ක උරෙන්නුර ගැටෙමින් ඇවිදලා යළිත් ගම්මට්ටමෙන් බිම් මට්ටමෙන් සංවිධාන කටයුතු පටන්ගත්තා. අන්න එදා මාත් එක්ක එකතුවෙලා ගමේ ශාඛා සමිති සංවිධානය කරන්න පටන් ගත්ත අපේ පාක්ෂිකයෝ පිරිස තමයි මේ ජයග්‍රහණයේ හැබෑ උරුමක්කාරයෝ. කවුරු හරි මට ස්තුතිය පළ කරනව නම් මම පෙරළා ඒ ස්තුතියෙන් කොටසක් මාත් එක්ක අත්වැල් බැඳගෙන ගමේ ඉඳලා වැඩ කරපු ඒ සහෝදර පිරිසට ඒ ගෞරවය ලබාදෙන්න කැමැතියි.

“ලක්ෂ විසිතුනක් ඡන්ද අඩු වුණාට මාලිමාව මේ ඡන්දයෙන් පරාජය වුණා කියලා හිතන්න නරකයි.”

“කොහෙත්ම නෑ…, හැබැයි අවස්ථාවාදීව කටයුතු කරපු මේ අයට සමහර අය අවස්ථාව ආවම උත්තර දීලා තියෙනවා කියන එකනම් පැහැදිලියි.”

“ඔව් ඔව්… ඒක හරියටම කරල තියෙන්නෙ උතුරු නැගෙනහිර ජනතාව තමයි. අර සුමන්තිරන් මන්ත්‍රීතුමා පවා අපේ යාළුවෙක් එක්ක මවිතය පළ කරලා තියෙනවා අනුරට එහේ තියෙන ආකර්ෂණය ගැන. අපිත් හිතුවා උතුරේ මිනිස්සු මෙයාට රැවටුණා තමයි කියලා. දැන්නේ තේරෙන්නෙ “කාරිය කෙරෙන තෙක් විතරයි ඒ කාගෙත් රැවටිල්ල” කියලා… ඒ මිනිස්සු තමන්ට ඕන වැඩ ටික දුර්වලතැන්වලින් නියමෙටම කරගත්තා.” සාගර කාරියවසම් කීවේය.

කොළඹ නගර සභාවට ඊළඟට මොකද වෙන්නේ

එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන ඡන්දයට තරග වැදුණේ පිරිසිදු එක්සත් ජාතික පක්ෂයක් ලෙසටය. මුලදී තමන්ට ගැළපෙන විපක්ෂයේ පක්ෂ කිහිපයක් හා ඒකරාශී වී සන්ධානගත වී තරග වදින්නට සූදානම්ව සිටියත් සෙසු පක්ෂ ගණනාවකම සහයෝගය ඒ සඳහා නොලැබීම හේතුවෙන් රනිල් තීරණය කළේ තනිව ඡන්දය ඉල්ලීමටයි.

කෙසේ වෙතත් තනිව ඡන්දය ඉල්ලීමේ වැදගත්කම එක්සත් ජාතික පක්ෂය තේරුම් ගත්තේ මෙවර ඔවුන් ලබා තිබූ පිරිසිදු ප්‍රතිඵලයත් සමගයි.

විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ ඡන්දයෙන් ඔවුන් මන්ත්‍රී ධුර 13ක් ජයගන්නට සමත් වූහ. අද වන විට ඒ මන්ත්‍රීවරු 13 දෙනා නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වී තිබීම විශේෂත්වයකි. ඒ හැරුණු විට ඔවුන් මුළු රට වටෙන්ම ඡන්ද ලක්ෂ 5ට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන 5% ප්‍රතිශතයක් රඳවා ගන්නට ද සමත් වී මන්ත්‍රී ධුර 381ක් ලබාගෙන තිබීම මෙවර මැතිවරණයේ කැපී පෙනෙන කාරණාවක් විය.

මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් සතුටට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වැනිදා සිය නායකත්ව මණ්ඩලය රැස් කළේ ඉදිරියේදී කළ යුතු දේ කතාබහ කරගෙන තීන්දුවක් ගැනීමටය. එම සාකච්ඡාවට සාගල රත්නායක, තලතා අතුකෝරළ, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන, රාජිත සේනාරත්න, නවීන් දිසානායක ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අතර රනිල් විශේෂයෙන් රෝලන්ඩ් පෙරේරා ප්‍රමුඛ පක්ෂයේ නීතිඥයින් පිරිසකට ද මේ සාකච්ඡාව සඳහා ආරාධනය කර තිබිණි.

පළමුවෙන්ම සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂය ලබාගත් සමස්ත ප්‍රතිඵලය විශ්ලේෂණය කරමින් ඉස්මතු කරන්නට වූයේ කොළඹ නගර සභාව සඳහා ලබාගත් ප්‍රතිඵලයයි. ඒ වන විටත් විවිධ පාර්ශ්වයන් විපක්ෂය වෙනුවෙන් බලය පිහිටුවීම සඳහා එක්වෙන්නැයි කියා එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට කතාබස් කර තිබුණේ ඒ සඳහා තීරණාත්මක බලයක් ඔවුන් ලබා තිබූ නිසාය.

“මේක හොඳ අවස්ථාවක්. උද්දච්ච මාලිමාව කොළඹ නගර සභාව දිනාගන්න එක අංක එකට බලාපොරොත්තු තබාගෙන හිටියා. අන්තිමේ තිබුණේ ආසන 48යි. විපක්ෂයට 69ක් තියෙනවා. බලය ගන්නව නම් ප්‍රධාන පක්ෂයක සහයෝගය නැතුව බෑ. ඒ උනාට ඒගොල්ලෝ කල් තියා කට වරද්ද ගත්තා. ජනතාව ප්‍රතික්ෂේප කරපු කිසිම පක්ෂයක සහයෝගය ගන්නේ නෑ කිව්වා. ඒගොල්ලෝ විතරයි හොඳ අනිත් ඔක්කොම හොරු කියල කිව්වා. දැන් ගලේ පහරපු මොකුන්ද එවුන් ගාණයි. ලාහට ගෙම්බො එක්කාසු කරනව වගේ දැන් ස්වාධීන මන්ත්‍රීවරු පස්සේ දුවනවා. විපක්ෂයේ එකමුතුවක් හැදෙනවා නම් අපිත් සහයෝගය දීලා නගර සභාව පිහිටුවමු.” රාජිත කීවේය.

“කාත් එක්ක ද එකතු වෙන්නේ… සජිත් ගැන විශ්වාසය තියන්න පුළුවන්ද…?” එසේ ඇසුවේ තලතාය.

“ඒ මොකද බැරි? ඒ මනුස්සයා දැනටමත් ප්‍රකාශයක් නිකුත් කරල ඉවරයි. ජනතාව දීපු පණිවිඩය නිහතමානීව පිළිඅරන් විපක්ෂය එකතුවෙලා පුළුවන් හැම තැනම බලය ලබාගන්නවා කියලා. ඉතිං ආයි තවත් මොනවද..?”

“අපට තියෙන්නේ ඔප්ෂන්ස් තුනයි. එක්කෝ මාලිමාවත් එකතු වෙන්න ඕන. එහෙම නැත්තං සජිත් එක්ක එකතු වෙලා පුළුවන් තැන්වල පළාත් පාලන ආයතන හදන්න ඕන. නැත්නම් ස්වාධීනව ඉන්න ඕන. අපි දැන් ඒ ගැන කතා කරමු. මොනවද කරන්නේ…” රනිල් කීවේ තරමක් තීරණාත්මකවය.

“ඒක තමයි මං කිව්වේ… අපි විපක්ෂය එක්ක එකතුවෙලා හොඳ වැඩපිළිවෙළක් ඔස්සේ පළාත් පාලන ආයතනවල බලය ගමු. මේක තමයි හොඳම වෙලාව…” රාජිත යළිත් කියද්දී කීපදෙනෙක්ම ඊට කැමැත්ත පළ කර සිටියහ.

“මට ගාල්ලේ අපේ ආධාරකරුවනුත් ඔය ගැන කිව්වා. ලැබුණු අවස්ථාව අත්හරින්න එපා කියලා.” වජිර කීවේය.

“මට දේශපාලන පක්ෂ කිහිපයකිනුත් කතා කළා. ඒගොල්ලොත් අහනවා මොකද කරන්නේ කියලා තීරණයක් ගන්න…” තලතා පෙන්වා දුන්නාය.

“අපි දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් තියල මීට වඩා මහන්සි වුණා නම් මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්නවා. අපේ අපේක්ෂකයෝ පරාද වෙලා, කොට්ඨාස නැතිවෙලා තියෙන්නේ ඡන්ද දෙකෙන් තුනෙන්. ගාල්ල ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා” වජිර පෙන්වා දුන්නේ උදාහරණ ද දක්වමිනි.

“ඒක ඇත්ත අපි ෆයිට් එකේ හිටියේ නෑ. අපි ෆයිට් එකේ හිටිය කියල මිනිස්සුන්ට තේරුණා නම් අපේ ඡන්දදායකයො මීට වඩා උනන්දුවෙන් අපිට ඡන්දෙ දානවා…” නවීන් පෙන්වා දුන්නේය.

“අපිට අපේ අපේක්ෂකයන්ට පෝස්ටර් ටිකක්, පත්‍රිකා ටිකක් ගහලා දෙන්න බැරි වුණා. වියදම් කරලා රැස්වීම් ටිකක් කරන්න බැරිවුණා. මීඩියා කැම්පේන් එකක් කරන්න බැරි වුණා…” එක එක්කෙනා හේතු කියන්නට පටන් ගත්හ.

“අපි මුලින්ම පක්ෂ අරමුදලක් හදන්න ඕන… ඒවගේම හොඳ මීඩියා යුනිට් එකක් ඕන…” රුවන් විජේවර්ධන යෝජනා කරන්නට වූහ.

“ඔක්කොටම කලින් දැන් තේරිලා ඉන්න මන්ත්‍රීවරු 381 දෙනාම හරියට නම් කරගෙන ඉන්න ඕන. ඒ තෝරා ගැනිල්ල එක එක්කෙනාගේ නෑකමටයි හිතවත්කමටයි චොයිස් එකටයි කෙරුණොත් එතන ඉඳලම අපේ ඉදිරි වැඩපිළිවෙළ අවුල් වෙනවා…” රාජිත කීවේය.

“ඒකට නම් විශේෂ වැඩපිළිවෙළක් ඕන වෙනවා.”

“මම කියන්නේ මේකයි… අපි ආණ්ඩු පක්ෂයට ගියත් විපක්ෂයට ගියත් අනිත් පැත්තේ අනිවාර්යයෙන්ම ඉන්නේ ඉතාම දක්ෂ ප්‍රතිවාදී කණ්ඩායමක්. මං ඔය මාලිමාවෙ එවුන් ගැන හොඳට දන්නවා. ඕකුන්ට වැඩ බෑ. හැබැයි උන්ට මොනවා බැරි වුණත් දේශපාලනේ කතා කරන්න දන්නවා. ඒක නිසා අපි යවන්නේ එක්කෙනාද දෙන්නද ඒ අය හොඳට හොයලා බලලා හිතලා බලලා ස්ප්‍රීට් එකෙන්ම යවන්න තීරණය කරන්න ඕන. නිකං කතා කර ගන්න බැරි දිව පටලැවෙන ලොන්තපෝල්ලා යවල වැඩක් නෑ…” රාජිත කියද්දී රනිල් තරමක් කලබලයෙන් ඒ ගැන අවධානය යොමු කළේය.

“මම හෙට උදේම කල්කටාවට යනවා. හින්දු පත්තරේ සංවත්සරයට දේශනයක් කරන්න මේ පාර මට කතා කරලා. මම ආපහු ඉරිදා එනවා. ඒ ඇවිල්ල මේ ගැන හොඳට සාකච්ඡා කරලා තීරණයක් ගමු. එතකම් පොඩ්ඩක් ඉවසමු… ඒ අනුව එජාප නායකත්ව මණ්ඩලයේ රැස්වීම එතෙකින් අවසන් විය.

පළාත් පාලන ආයතන ඡන්දය ඉවර වීමෙන් පසුව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුව පැවැත්වීම ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මහත් ආශ්වාදජනක කාරණාවක් විය. ඊට හේතුව ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ වූ විවේචනාත්මක අදහස්වලට හුවමාරු වන්නට, ඡන්දයේ පසු විපරම ගැන කතා කරන්නට එය කදිම අවස්ථාවක් වී තිබීමයි.

මේ නිසා එදා උදේ සිට පාර්ලිමේන්තුව සභාව ඇතුලේත් සභාවෙන් පිටත් බොහෝ දෙනකුගේ මාතෘකාව වූයේ ඡන්ද ප්‍රතිඵලයයි.

පාර්ලිමේන්තුවට සහභාගි වන්නට චාමර සම්පත් මන්ත්‍රීවරයා පැමිණ සිටියේ බදුල්ලේ සිට වෙහෙසකර දිගු ගමනකින් පසුවයි.

බොහෝ මන්ත්‍රීවරු ඔහුට විහිළු කරන්නට වූයේ බන්ධනාගාරේ බත් කාලා දැන් මන්ත්‍රීතුමා හොඳටම මහත් වෙලා යයි කියමිනි.

චාමර සම්පත්ගේ කට අවුස්සා ගතහොත් කන් පිරෙන්නට මොන මොනවා හෝ අහන්නට ලැබෙන බව ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරු හොඳාකාරවම දනිති. මේ නිසාම ඔහුව අවුස්සන්නට බොහෝ සේ උනන්දු වූයේ ආණ්ඩු පක්ෂයේ අයට වඩා විපක්ෂයේ මිතුරන්ය.

“උඹල හිතන්න එපා වෙනද වගේ කේන්ති අරන් මම කෑගහනවා කියලා. දැන් මට හොඳට ඉවසීම තියෙනවා.”

“කොහොමද මන්ත්‍රීතුමා බදුල්ලේ ප්‍රතිඵලය.”

“දැක්කද…. දැක්කද… මේ චාමර සම්පත්ව ඇතුළට දාලා තිබුණත් මගේ මිනිස්සු එහෙ වැඩ කළා. මම තමයි හපුතලේ මිනිස්සුන්ගේ අතින් අල්ලගෙන ගිහිල්ලා නාමයෝජනා ටික භාරදීලා ආවේ. ලංකාවේම තුන්වෙනි තැන ගත්ත පොහොට්ටුවටවත් බදුල්ලේ මහ නගර සභාවෙන් අපට වඩා ඉස්සරහට යන්න බැරි වුණා. බැරි වෙලාවත් මම එළියෙ හිටියා නං බදුල්ල ඡන්ද ප්‍රතිඵලය අනිත් පැත්ත ගහලා මම පෙන්නනවා. එහෙනම් අර උමා ඔයේ හිල තියනව කියපු එකාට හැඟෙන්න හිල හොයාගෙන දුවන්න රට මදි…”

“ඒක නෙමෙයි මන්ත්‍රීතුමා කොහොමද සැප සනීප එහෙම…”

“මම මේක පාර්ලිමේන්තු ඇතුලෙත් කියන්නයි ඉන්නේ. දැන් බලපල්ලා මට විරුද්ධව දාලා තියන නඩුවේ චෝදනාවේ වටිනාකම ලක්ෂ දහයයි. හැබැයි මේ එක පාර්ලිමේන්තු වාරයකට මාව බදුල්ලේ ඉඳලා මෙහාට ගේන්න වාහනවලට විතරක් ලක්ෂයකට වඩා මේගොල්ලෝ වියදම් කරනවා. පාර්ලිමේන්තුව දවස් 20 ක් තිබුණොත් ලක්ෂ විස්සක් යන්නැද්ද… ඉතින් ඒවා මහජන මුදල් නෙවෙයිද. මේගොල්ලෝ කියන්නේ නාස්තිය පිටු දකිනවා, මුදල් ඉතුරු කරලා දෙනවා කියලා නේද. ඔන්න ඔය කාරණාව මං පාර්ලිමේන්තුවෙත් අහන්නයි ඉන්නේ…

මේ අතර පාර්ලිමේන්තුවේ තැන් තැන්වල බොහෝ සේ වාද විවාද පවත්වමින් මන්ත්‍රීවරු සිටියේ මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ කෙසේද කියාය.

එකම ආයතනයකවත් බලය පිහිටුවන්න දෙන්නේ නෑ කියලා ආණ්ඩුවේ කයිවාරුකාරයෝ ටික කයිවාරු ගහනවනේ. බලමුකෝ කොළඹ මහනගර සභාවේ මොකද වෙන්නේ කියලා. කොළඹ මහ නගර සභාව මේ තරං දිනා ගෙනත් බලය පිහිටුවාගන්න බෑ කියනව නම් අනිත් ආයතන 120 ගැන කවර කතාද. එකක්වත් කරන්න දෙන්නේ නෑ කිව්වට අපිට පුළුවන් හැම තැනකම අපි බලය පිහිටුවන එක පිහිටුවනවාමයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එසේ කතාබස් කරමින් අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද ඒ අහල පහල කතාබහ කරමින් සිටින අතරතුරය. එහෙත් ඒ කිසිවෙක් කිසිදු ආකාරයක අදහස් දැක්වීමකට හෝ මැදිහත්වීමකට සහභාගි නොවීම විශේෂත්වයක්ම වූහ.

බුලිත ප්‍රදීප් කුමාර


advertistmentadvertistment