මහනගර සභා 23ක – නගර සභා 25ක ප්‍රාදේශීය සභා 217ක බලය මාලිමාවට
මාලිමාවේ ඡන්ද ප්‍රතිශතය අඩු වෙද්දී සජබ – පොහොට්ටුව – සර්වජන බලය ඡන්ද වැඩි කරගනී
මහ නගර සභා 3ක – එක් නගර සභාවක ප්‍රා. සභා 33ක ජය ඉලංකෙයි තමිල් අරුසු කච්චි දිනා ගනී
සජබට නගර සභා 2ක් හා ප්‍රා. සභා 12ක්
අපි කොළඹ බලය පිහිටුවනවා – සජබ මහලේකම්
කොළඹ පුරපති පුටුව කාටද?
බලය පිහිටුවන්න දෙපැත්තෙන්ම තරගයක්
මාලිමාව දිනුවත් බහුතර බලය විපක්ෂයට
කිසිම පක්ෂයකට මුක්කු ගහන්නේ නෑ – සර්වජන බලය නායක දිලිත් ජයවීර
මාලිමාවට මන්ත්‍රීධුර 3927ක්
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ඡන්ද විමසීම සිදුකළ ආයතන 339න් 265ක් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත්විය. එයින් ආයතන 116ක බහුතර බලය ලබාගැනීමට එම පක්ෂයට හැකි වූ නමුත් ඉතිරි ජයගත් ආයතනවල බහුතර බලය හිමිව ඇත්තේ විපක්ෂයේ පක්ෂවලටය.
කොළඹ මහ නගර සභාව ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකි වූ නමුත් බහුතර සභික සංඛ්‍යාවක් විපක්ෂයට හිමිවිය.
ජාතික ජන බලවේගය සභික ධුර 48ක් ලබාගනිද්දී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට සභික ධුර 69ක් හිමිවිය. මේ අතර ජාතික ජන බලවේගය සිය පුරපති අපේක්ෂිකා බ්‍රායි කැලී බල්තසාර් පුරපති බවට පත්කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින අතර සමගි ජන බලවේගය ද සිය පුරපති අපේක්ෂක ආචාර්ය රුමේෂ් හනිෆා මහතා පුරපති කිරීමට විපක්ෂයේ සෙසු කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වමින් සිටී.
කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සිය පක්ෂය කටයුතු කරන බවත් ඒ සඳහා සෙසු පක්ෂවල සහාය ලබාගන්නා බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ මාධ්‍ය හමුවේ පැවසීය.
ජාතික ජන බලවේගයට බහුතර බලය හිමි නොවූ ආයතනවල බලය ලබාගැනීමට ද සමගි ජන බලවේගය විවිධ පක්ෂ සමග සාකච්ඡා පවත්වයි. ආයතනවල බලය ලබාදීමට තම පක්ෂය කිසිම පක්ෂයකට මුක්කුවක් නොවන බව සර්ව ජන බලවේගයේ නායක දිලිත් ජයවීර මහතා ඊයේ පැවසීය.
ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර, කඩුවෙල, දෙහිවල, ගල්කිස්ස යන මහ නගර සභා ඇතුළු මහ නගර සභා 23ක බලය හිමි කරගත් අතර නගර සභා 25ක් හා ප්‍රාදේශීය සභා 217ක ජයග්‍රහණය කිරීමට සමත්විය. ඉලංකෙයි තමිල් අරුසු කච්චිට මහ නගර සභා 03ක්, නගර සභා 01ක් හා ප්‍රාදේශීය සභා 33ක් ජය හිමිවිය.
සමගි ජන බලවේගයට නගර සභා 02ක හා ප්‍රාදේශීය සභා 12ක ජය හිමිවිය. මුස්ලිම් කොංග්‍රසයට ද නගර සභා 2ක් හා ප්‍රාදේශීය සභා 03ක බලය හිමිවිය. සමස්තලංකා මහජන කොංග්‍රසය හා සමස්තලංකා දෙමළ කොංග්‍රසයට ආයතන 3 බැගින් ජය ගත්තේය.
ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵලය සැසඳීමේදී ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු වී ඇති අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ජව ජන බලය පක්ෂය සිය ඡන්ද ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට හැකි වී තිබේ.
ඉකුත් 2018 පළාත් පාලන මැතිවරණය සමග සැසඳීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සිය ඡන්ද ප්‍රමාණය මෙවර වාර්තාගත ලෙස වැඩි කරගැනීමට හැකි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට අසමත් විය.
ජාතික ජන බලවේගය සමස්ත පළාත් පාලන ආයතන 339යෙන්ම ඡන්ද 4,503,930ක් ලබාගත් අතර එය වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 43.26කි. එම පක්ෂයට මන්ත්‍රී ධුර 3,927ක් හිමිවිය.
සමගි ජන බලවේගයට ඡන්ද 2,258,480ක් හිමි වූ අතර එය සියයට 21.69ක ප්‍රතිශතයකි. එම පක්ෂයට මන්ත්‍රී ධුර 1,767ක් හිමිවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 954,517ක් හිමි වූ අතර එහි ප්‍රතිශතය සියයට 9.17කි. ඔවුනට හිමි වූ මන්ත්‍රී ධුර ගණන 742කි. එක්සත් ජාතික පක්ෂය 488,406ක් ලබා ගත්තේ සියයට 4.69ක ප්‍රතිශතයක් සහිතවය. එම පක්ෂයට මන්ත්‍රී ධුර 381ක් හිමිවිය. සර්ව ජන පක්ෂයට මන්ත්‍රීධුර 277ක් හිමි වූ අතර ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණය 294,681කි.
හිටපු රාජ්‍ය ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් මහතාගේ තමිල් මක්කල් විදුකලෙයි පුලිකල් පක්ෂය මෙවර පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කළ අතර එම පක්ෂය ඡන්ද 39,791ක් ලබා සභික ධුර 37ක් ලබා ගත්තේය.
මේ අතර ඉකුත් ජනපතිවරණයේදී සියයට 42.3ක් හා මහ මැතිවරණයේදී සියයට 61.5ක් ලබාගත් ජාතික ජන බලවේගය මෙවර සියයට 43.2ක දක්වා ඡන්ද ප්‍රමාණයක් පසුබෑමට ලක්ව ඇත. එමෙන්ම සමගි ජන බලවේගය මහ මැතිවරණයේදී ලබාගත් සියයට 17.6 ප්‍රතිශතය මෙවර සියයට 20.19 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණයේදී සියයට 3.14ක් වූ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 10ක් දක්වා වැඩි කරගෙන ඇත. සර්ව ජන බලවේගය ද සියයට 1.60ක් වූ ඡන්ද ප්‍රමාණයක් මෙවර සියයට 2.83 දක්වා වැඩිකරගෙන ඇත.
ඡන්ද විමසීම පෙරේදා (06දා) සවස 4.00ට අවසන් වීමෙන් පසුව ගණන් කිරීම එම ස්ථානවලදීම සිදුකළ අතර ඒ අනුව පස්වරු 6.50 පමණ වනවිට පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවිය.
රනිල් ධර්මසේන