* තරුණිය මරුට:තරුණයාට අසාධ්‍යයි
දිඹුල පොලිස් වසමට අයත් ස්ටොනික්ලිප් වතු යායේ නිවාඩු නිකේතනයකට (කාබාන) අනවසරෙන් ඇතුල් වූ තරුණයකු සහ තරුණියක් වස පානය කර ඇති බවත්, ඉන් තරුණිය සංචාරක නිකේතනය තුළදීම (16 දා) ජීවිතක්ෂයට පත් වී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ දිඹුල පොලිස් වසමට අයත් යුනිෆිල්ඞ් වතු යායේ පදිංචි කාර්තිගා නමැති (17) හැවිරිදි තරුණියෙකි.
මියගිය තරුණිය සහ තරුණයා පෙම් යුවලක් බවත්, එම පේ‍්‍රම සබඳතාවට දෙපාර්ශවයේම දෙමව්පියන් විරුද්ධ වූ නිසා මිය ගිය තරුණිය සහ තරුණයා 15 දින උදෑසන කාලයක් තිස්සේ තාවකාලිකව වසා දමා ඇති නිවාඩු නිකේතනය අනවසරෙන් ඇතුල් වී දෙදෙනාම එකවර වස පානය කර තිබේ. පසුව පෙම්වතා විසින් ඔහුගේ මිතුරෙකුට සිද්ධිය සම්බන්ධයෙන් දුරකථනයෙන් දැනුම් දීමෙන් පසු දිඹුල පොලිසිය විසින් 16 දා දින රාත‍්‍රියේ එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පෙම්වතිය මියගොස් සිටි බවත්, වස පානය කර අසාධ්‍ය තත්ත්වයේ සිටි පෙම්වතා කොටගල ප‍්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතළ නිසා එම තරුණයාව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතාගෙන් ලබාගත් ප‍්‍රකාශය අනුව පේ‍්‍රම සම්බන්ධතාවට දෙපාර්ශවයේම දෙමව්පියන් ඇතුළු ඥාතීන් විරුද්ධ වූ නිසා සියදිවි හානිකර ගැනීමේ චේතනාවෙන් දෙදෙනාම වස පානය කළ බවට පොලිසියට ප‍්‍රකාශයක් ලබාදුන් බවද දිඹුල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්දසිරි මහතා පැවසීය.
මියගිය තරුණියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
නුවරඑළිය – නාලක රත්නායක