පොහොට්ටු කාර්යාලය ළඟ සිවිල් සංවිධාන නියෝජිතයෝ විරෝධතාවක

174

රට වනසන පනත් ගෙන එමින් හැටනව ලක්ෂයක ජනවරම පාවා දුන් බව කියමින් ඊයේ (28දා) පාර්ලිමේන්තුව අසල සිට නෙළුම් මාවත පොදුජන පෙරමුණ කාර්යාලය දක්වා විරෝධතා පාගමනක පැමිණි සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයෝ එහිදී පොල් ගසා, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වූහ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

විරෝධතා පුවරු රැගෙන ආ පිරිසට නෙළුම් මාවත අසලදී පොලිසිය බාධා කිරීමත් සමග මෙලෙස දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට ද උද්ඝෝෂකයෝ විරෝධය පළ කළහ. පසුව දෙපාර්ශ්වයම උණුසුම් වචන හුවමාරුවක නිරත වන අයුරු ද දක්නට ලැබිණි.

විරෝධතාකරුවන් ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට ‘හූ’ කියමින් විරෝධය පළ කළ අතර, ‘සිවිල් ක්‍රියාකාරීන්ට කීයක් හරි හොයා ගන්න ඉඩ දෙන්න. රට අරාජික කරන්න සල්ලිවලට කෑගහනවා. ඔය ගොට්ටෝ කෑගැහුවට අපේ දේශපාලනය අපි කරනවා’ යනුවෙන් ඇමැතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

රට වනසන පනත් ගෙන එමින් ඒවාට පක්ෂව අත ඔසවමින්, පොහොට්ටු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවටත්, ඔවුන් හැටනව ලක්ෂයක ජනතා අභිලාෂ පාවා දෙමින්, පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද උල්ලංඝනය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස වැඩ කරන බවටත් මෙහිදී විරෝධතාකරුවෝ චෝදනා කළහ.

අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සභාපති, ජාමුනි කමන්ත තුෂාර, ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත, සමාජ ක්‍රියාකාරිනි ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙම විරෝධතාවට එක්ව සිටියහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment