කෝට්ටේ රජමහ විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර

97

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහ විහාරස්ථානයේ 2023 ඇසළ මංගල්‍යය පූජෝත්සවයේ අවසන් මහා පෙරහැර 123 වන වරටත් සැප්තැම්බර් මස 09 වන දින රාත්‍රියේදී වීථි සංචාරය කෙරිණි.

සම්ප්‍රදායානුකූලව රාත්‍රී 08.12ට යෙදී තිබුණු සුබ මුහුර්තයෙන් සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළ සධාතුක කරඬුව වැඩම කර හස්තිරාජයා පිට බැඳි ධාතු කරඬුවේ තැන්පත් කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළේය.

මෙම පෙරහරේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කළ සධාතුක කරඬුව ඓතිහාසික කෝට්ටේ රජමහ විහාරස්ථානයට අයත් කෝට්ටේ රාජා නම් හස්තිරාජයා පිට වැඩම කරවීම සිදු කරනු ලැබූ අතර හීලෑ අලි ඇතුන් රාශියක්ද ඉතා අලංකාර ලෙස පෙරහරේ ගමන් කරන අයුරු දක්නට ලැබිණි.

උඩරට, පහතරට, සබරගමු වැනි සම්ප්‍රදායික නර්තන අංග රාශියකින් හා වෙනත් දේශීය සංස්කෘතික අංගයන් රැසකින් සමන්විත ශ්‍රී දළදා පෙරහැර වීථි සංචාරය කෙරිණි. පෙරහැර සුබ මුහුර්තයෙන් විහාරස්ථානයේ නැගෙනහිර වාහල්කඩින් පිටත්වී විහාරය වටා ඇති මාර්ගය ඔස්සේ ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිස කෝට්ටේ රජමහ විහාරයේ බෝධීන් වහන්සේ අභියසට පැමිණ එතැන් සිට ශාන්ත තෝමස් දේවස්ථාන මංසන්දිය දක්වා රජමහ විහාර පාරේ ගමන් කර එම හන්දියෙන් දකුණට හැරී ජුබිලි කණුව – කෝට්ටේ ප්‍රධාන මාර්ගය ඔස්සේ කෝට්ටේ හන්දියට ගමන්කර එම ස්ථානයෙන් වමට හැරී නුගේගොඩ – පාගොඩ පාර ඔස්සේ ගමන් කොට ජලසම්පාදන මාවත මංසන්දියෙන් වමට හැරී කෝට්ටේ නාග විහාර මංසන්දියට පැමිණ නැවතත් ජුබිලි කණුව- කෝට්ටේ ප්‍රධාන පාර ඔස්සේ ශාන්ත තෝමස් දේවස්ථාන මංසන්දිය දක්වා පැමිණ එම ස්ථානයෙන් දකුණට හැරී රජමහ විහාර මාවත ඔස්සේ නැවත ගමන් කර විහාරයට ගෙවදීම සිදුවිය.

එසේම සම්ප්‍රදායානුකූල නැටුම් වැයුම් සමගින් විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි, විභීෂණ යන දේවාලයන්හි දේවාභරණ හස්තීන් මතින් වැඩම කරවීමද පෙරහරේදී සිදු කෙරිණි.

ඓතිහාසික කෝට්ටේ රජමහ විහාරයේ විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමිගේ සහ කෝට්ටේ රජමහ විහාරයේ විහාරාධිකාරී තලංගම දේවානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි කෝට්ටේ රජමහ විහාරයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා සහ විහාරස්ථාන දායක සභාව විසින් පෙරහර සංවිධානය කර තිබිණි. පෙරහර නැරඹීම සඳහා මහා සංඝරත්නය හා දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් පෙරහර ගමන්ගත් මාර්ග දෙපස සිටින ආකාරයද දැක ගන්නට ලැබිණි.

ඉන් අනතුරුව (10) වැනි ඉරු දින ශ්‍රී ජයවර්ධනපුර දියවන්නා ඔය තොටුපලේ පැවති දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව සන්ධ්‍යාවේ පැවැත්වූ දේව දානය පූජා කිරීම සහ ගරායක් ශාන්තිකර්මය පැවැත්වීමෙන් පසු මෙවර ඇසළ පූජෝත්සවයේ වැඩකටයුතු නිමාවට පත්කළ බව පෙරහර කමිටුව පැවසීය.

එස්. ඩී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment