බිබිල සහ දඹුල්ල ඩිපෝ සේවකයෝත් සහයෝගයට
ගැටලුව සාකච්ඡා කළා ඩිපෝවේ අය අතරමගදී නැගිටලා ගියා – ඌව පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සේනක ප්‍රනාන්දු
පෞද්ගලික බස් රථයක කාලසටහනක ගැටලුවක් හේතුවෙන් ලංගම ඩිපෝ දෙකකට අයත් සේවක සේවිකාවන්, සේවයෙන් ඉවත් වී ඊයේ (22දා) මහියංගණ ඩිපෝව අභියසදී විරෝධතාවයක නිරත විය. එම විරෝධතාවය සඳහා මහියංගනය සහ උඩදුම්බර ලංගම ඩිපෝවල සේවක සේවිකාවන් ද එක් වී සිටියහ.
මොනරාගල සිට වවුනියාව දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථයක කාලසටහනක ධාවන කාලය හේතුවෙන් කාලයක පටන් ඇතිවන පීඩාවන් මත එම සේවක සේවිකාවන් එසේ විරෝධතාවයේ නියැළිණි.
විරෝධතාවයේ නිරත ලංගම සේවකයන් පවසා සිටින්නේ එම පෞද්ගලික බස් රථයේ ධාවන කාලය වෙනස් නොකිරීම හේතුවෙන් බිබිල මහියංගණය හසලක දඹුල්ල යන ලංගම ඩිපෝවල බස් රථවලට මූල්‍යමය පාඩුවක් සිදුවන බවත්, බදුල්ල මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ අදාළ බලධාරීන් සමග මේ සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා පවත්වා මෙම බස් රථයේ ධාවන කාලය වෙනස් කර දෙන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් සිදු කළද මෙතෙක් ඒ සඳහා ස්ථිර විසඳුමක් නොදීම හේතුවෙන් විරෝධතාවයේ නිරතවන බවකි.
මෙම උද්ඝෝෂකයන් ප්‍රකාශ කර සිටින්නේ තම උද්ඝෝෂණයට සහාය පිණිස බිබිල සහ දඹුල්ල ලංගම ඩිපෝවල සේවකයන්ද බස් රථ ධාවනය නොකර මෙම උද්ඝෝෂණයට සහයෝගය දක්වන බවකි.
ඌව පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සේනක ප්‍රනාන්දු මහතා,
ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඔය ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ගෙන්නලා සාකච්ඡා තිබ්බා. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති චන්ද්‍රපාල මහත්තයා ඔය ගැටලුව විසඳන්න කොන්දේසි තුනක් ලබාදුන්නා. ඉන් එකක් හෙට්ටිපොලින් 12.10 ට පිටත් වීම වෙනුවට 12.30ට පිටත් වීම, බස් රථයේ සී.සී.ටී.වී. කැමරා සවි කිරීම. අපි එකතුවෙලා ඒකාබද්ධ පරීක්ෂණයක් කිරීමට යෝජනා කළා, කොන්දේසි අනුව ඒ අය බස් රථ ධාවනය කරනවාද යන්න පරීක්ෂා කිරීමට. සාකච්ඡාව අවසානයේ ලංගම පාර්ශ්වයේ අය එම කොන්දේසිවලට එකඟ නැති බව පවසමින් සාකච්ඡාවෙන් ඉවත්ව ගියා, අත්තනෝමතිකව. ඒ අය යන ගමන් කියාගෙන ගියා අපි මේක අල්ලස් කොමිසමට වාර්තා කරනවා, අපි ජනාධිපතිතුමාට දැනුම් දෙනවා කියලා. අපේ සභාපතිතුමා කිව්වා ඒ අයගේ කැමැත්තෙන්නේ සාකච්ඡාවෙන් ඉවත්වෙලා ගියේ ඒ අයට කැමති දෙයක් කර ගත්තාවේ කියලා. ඊට පස්සේ දවස් කිහිපයක් බස් එක දුවලා පස්සේ නැවත ලියුමක් දාලා තියෙනවා එයාලා බස් වර්ජනයකට යනවා කියලා. සමන්ත විද්‍යාරත්න මහත්තයා ඇතුළු අපි හැමෝටම ඒ අය ලියුම් ගහලා තියෙනවා. දැන් සිදුවෙච්ච සිද්ධියත් එක්ක ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිතුමා මේ ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වෙලා. ගැටලුව විසඳා ගන්නා තෙක් පෞද්ගලික බස්රථය උදෑසන 9.30ට මොනරාගලින් ගමන් ආරම්භ කරනවා වෙනුවට සවස 5.00ට ගමන් ආරම්භ කරන ලෙස ගමන්වාර කාලසටහන වෙනස් කර ගැනීමට උපදෙස් ලබාදීලා තියෙනවා. ඒ පිළිබඳව අපිවත් දැණුවත් කරලා තියෙන්නේ.
මහියංගණ – රංජිත් කරුණාවීර