ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයකුට ලබාදී නෑ – ඇමැති ප්‍රසන්න රණතුංග

35

ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගෝල්ෆේස් අරගල භූමිය කැසිනෝ ව්‍යාපාරයකට බදු දීමට සූදානම් වන බවට ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඉකුත් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සාවද්‍ය පදනම් විරහිත හා ජනතාව නොමග යවන ප්‍රකාශයක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රටට ආයෝජකයන් ගෙන ඒමට රජය කටයුතු කරද්දී ජනතාව තුළ වැරදි මත පතුරවමින් එය කඩා කප්පල් කිරීමට විපක්ෂය දරණ උත්සාහය පිළිකුලෙන් හෙළා දකින බවද ඇමැතිවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙසේද කීවේය.

රට තුළට විදේශ අයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා 2022 නොවැම්බර් 14 පැවති ඇමති මණ්ඩල රැස්වීමේ දී නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත විදේශ ආයෝජකයන්ට ලබා දීමට අනුමැතිය දුන්නා.

2023.01.19 පැවති නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය ද විදේශ ආයෝජකයන්ගේ ඉල්ලීම් ඉතා ක්‍රමවත්ව ඇගයීම් කර ආර්ථික, සාමාජීය හා පරිසර අතින් වඩාත් සුදුසු අයෝජන පමණක් තෝරා ගැනීම සඳහා සැකසුනු ක්‍රමවේදයකට අනුමැතිය දුන්නා.

විජිත හේරත් මන්ත්‍රීතුමා සඳහන් කළ ගෝල්ෆේස් අසළ ඇති අරගල භූමිය පැවති ඉඩම කිසිදු ආයෝජකයෙකුට ලබා දී නෑ.

කොළඹ 03 බාලදක්ෂ මාවතේ ඇති අක්කර 01ක ඉඩමට සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බාලි ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අධිකාරිය විදේශීය ආයෝජකයන්ට ව්‍යාපෘති සඳහා අධිකාරියේ ඉඩම් සෘජුව ලබාදීමේ ක්‍රමවේදයට අනුව ඔවුන්ගෙන් තොරතුරු ලබා ගෙන 2024.02.16 වන දින අවබෝධතා ගිවිසුම අත්සන් කළා.

අදාළ ආයෝජකයා විසින් පෙරසැරි ගාස්තු ලෙස ඩොලර් දස දහසකට සමාන මුදලක් රුපියල්වලින් නාගරික සංවර්ධන අධිකාරියේ තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ඉඩම සඳහා රජයේ තක්සේරු වාර්තාව ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

රජයේ නීති රීතිවලට පිටින් අපි කිසිදු ඉඩමක් විදේශ අයෝජකයෙකුට ලබා දීමට හෝ එවැනි ආයෝජනයන්ට අනුමැතිය ලබා දීමට හෝ කටයුතු කරන්නේ නෑ.

විසුම්පාය කියන්නේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දේපළක්. එම ගොඩනැඟිල්ල කිසිසේත් වෙනස් කළ නොහැකියි. ඒ අනුව විසුම්පාය සඳහා අධිසුඛෝපභෝගී බුටික් හෝටල් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.

advertistmentadvertistment
advertistmentadvertistment