බංග්ලාදේශය ප්‍රතික්‍ෂේප කළ පාකිස්තාන මිසයිල නෞකාවට කොළඹ වරායට එන්න අවසර දෙයි

286

කරච්චිය බලා යන පාකිස්තාන තයිමුර් මිසයිල නෞකාවට කොළඹ වරායට පැමිණීමට රජයේ අවසරය හිමිව තිබේ. චීනයේ නිෂ්පාදිත මෙම නැව පාකිස්තානය වෙත මංගල ගමන සිදු කරයි.

බංග්ලාදේශය මෙම නැවට චැටෝග්‍රාම් වරායේ නැංගුරම් ලෑමට ඉඩ දීම ප්‍රතික්ෂේප කර තිබියදී ලංකා රජය එයට අවසර ලබා දීම විශේෂත්වයකි. මෙම නෞකාව අගෝස්තු 12 සිට 15 දක්වා කොළඹ වරායේ රැඳී සිටීමට අපේක්ෂා කරයි.

ඉන්දියාවේ බලපෑම් මත ෂේක් හසිනා ආණ්ඩුව විසින් මෙම පාකිස්තාන නැව වාරණය කර ඇති බව ජාත්‍යන්තර වාර්තා කියයි. බංග්ලාදේශ අගමැතිනිය සැප්තැම්බර් මුල් සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර අගමැති මෝදි සමඟ එක්ව මෙගා වොට් 1320 මෛත්‍රී සුපිරි තාප විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.

චීනය පාකිස්තානය වෙනුවෙන් නිර්මාණය කළ දෙවැනි මිසයිල යුද නැව මෙයයි. එය පසුගිය 23 වැනිදා පාකිස්තාන නාවික හමුදාවට භාර දෙන ලදී. හම්බන්තොටට පැමිණීමට නියමිතව තිබූ චීන යුවාන් වැන්ග් නැවට ඉන්දියාව දැඩි විරෝධයක් පළකර තිබෙන අතරතුර මෙම පාකිස්තාන මිසයිල නැව ලංකාවට පැමිණීම සුවිශේෂය. හම්බන්තොටට පැමිණීමට නියමිතව තිබූ චීන නැවේ ගමන කල් දමන ලෙස මෙරට රජය බීජිං පාලනයට දැන්වීම නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් ද ඇතිව තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment