කොලිවුඩ් සිනමාව කියන්නේ දවසින් දවස අලුත් වෙන නැවුම් වෙන තැනක්. ඒ නිසාම තමයි ප්‍රේක්ෂකයන් කොලිවුඩ්වලට මේ තරම් ආදරේ කරන්නේ. 2025 වසරේ අප්‍රේල් මාසය කොලිවුඩ්වලට ගොඩක් විශේෂයි. ඒ සුවිශේෂී චිත්‍රපටයක් නිසා. ඒ තමයි Good Bad Ugly.
අදික් රවිචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නවීන් යෙර්නේනි සහ වයි. රවි ශන්කර් විසින් නිෂ්පාදනය කරන ලද Good Bad Ugly කියන්නේ දමිළ ක්‍රියාදාම හාස්‍ය චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය මෛත්‍රී මුවී මේකර්ස් ඉදිරිපත් කිරීමක් විදිහටයි තිරයට පැමිණෙන්නේ. Good Bad Ugly චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අජිත් කුමාර් සහ ත්‍රිෂා ක්‍රිෂ්ණන්. ඊට අමතරව ප්‍රභූ, ප්‍රසන්න, අර්ජුන් දාස්, සුනිල්, රාහුල් දේව්, යෝගී බාබු, ෂයින් ටොම් චාකෝ, ජැකී ෂ්රොෆ්, ප්‍රියා ප්‍රකාශ් වරියර් සහ රඝු රාම් මේ චිත්‍රපටයේ සෙසු ප්‍රදාන චරිතවලින් එකතු වෙනවා.
ටී-සීරීස් විසින් ඉදිරිපත් කරන ලද මෙම චිත්‍රපටය 2023 අගභාගයේදී AK 63 යන නමින් නිවේදනය කරනවා. ඒ මොකද මේ චිත්‍රපටය අජිත් කුමාර්ගේ 63 වැනි චිත්‍රපටය වන නිසා. කොහොම නමුත් මෙහි නිල නාමය 2024 මාර්තු මාසයේදී නිවේදනය කළා. චිත්‍රපටයේ සංගීතය ජී.වී. ප්‍රකාශ් කුමාර් විසින් සිදු කරන ලද අතර, කැමරාකරණය අබිනාදන් රාමානුජම් විසින් සහ සංස්කරණය විජේ වේලුකුට්ටි විසින් සිදු කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 10 වැනිදා ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක තිරගත කිරීම ආරම්භ කළා. මිනිත්තු 138ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ අජිත් කුමාර්ගේ ප්‍රබල රංගනයක් ඇතුළත් වෙලා තියෙනවා කියලා විචාරකයන් කියල තිබුණා. විශේෂයෙන්ම අජිත් කුමාර්ගේ කොමඩි ෆිල්ම්ස් බලන්න බොහෝ දෙනා කැමැතියි. ඒ නිසා කාලෙකට පස්සේ අජිත් කුමාර්ගේ කොමඩි සහ ක්‍රියාදාම රංගනයක් ප්‍රේක්ෂකයන්ට බලාගන්න අවස්ථාව ලැබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 225–270 මුදලක් වැයකරමින් නිර්මාණය කර තිබෙන මෙය අති සාර්ථක චිත්‍රපටයක් වෙයි කියලා බොහෝ දෙනා දැනටමත් මත පළකරලා තිබෙනවා.
ත්‍රිෂා කියන්නේ තිරයේ අජිත්ට ගැළපෙනම රංගන ශිල්පිනියක්. අජිත් මීට කලින් කරපු නිර්මාණයෙත් ප්‍රධාන චරිතය රඟපෑවේ ත්‍රිෂා විසින්. ඒ කොම්බිනේෂන් එක ගැන ඒ දවස්වල ගොඩක් අය කතා කළා. ඒ නිසාම චිත්‍රපටය සුපර් හිට් එකක් වෙයි කියලා අජිත්ගේ සහ ත්‍රිෂාගේ ප්‍රේක්ෂකයන් සමාජ ජාලාවල නොයෙක් ආකාරයේ අදහස් පළ කරලා තිබුණා. අධික් රවිචන්ද්‍රන් කියන්නේ වයස අවුරුදු 33ක් පමණ වන තරුණ අධ්‍යක්ෂකවරයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු රංගන ශිල්පියෙක්, තිර රචකයෙක් සහ පසුබිම් ගීත ගායකයෙක් විදිහටත් සිනමාව එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ ඩබන්ග් 3 චිත්‍රපටයේත් ඩයලොග් රචනා කරල තියෙන්නේ අධික් විසින්. Good Bad Ugly කියන්නේ අධික්ගේ 5 වැනි චිත්‍රපටය. ඒ නිසා එයා මේ චිත්‍රපටයට ඔහුගේ උපරිමය ලබාදීල තියනවා කියලත් පහුගිය දවසක මාධ්‍යයට කියලා තිබුණා. මේ දවස්වල අධික්, අජිත්, ත්‍රිෂා වගේම අනෙක් නළු නිළියන් හැම කෙනෙක්ම Good Bad Ugly චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවල නිරතවෙලයි ඉන්නේ. ඒ හැම තැනකදීම ඔවුන්ට ඉතාමත් හොඳ රසික ප්‍රතිචාර ලැබුණා සහ ලැබෙමින් පවතිනවා. අජිත් සහ ත්‍රිෂා මේ නිසා ඉන්නේ ගොඩක් ලොකු සතුටකින්. ඉතින් අපිත් Good Bad Ugly කණ්ඩායමට සුබපතමු. අප්‍රේල් මාසයේ කොලිවුඩය කළඹන චිත්‍රපටයක් බවට මේක පත්වෙන එකනම් අනිවාර්යයි.
අමිල නුවන් මදුසංඛ