බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවන්ට කඩුලු 6ක ජයක්

1

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි-20 තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය. එයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලියේ 1-1 ක් ලෙස සමතැන් ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන්ට හැකිවිය.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (26දා) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 15 පන්දු 2කට සීමා කිරීමට සිදුවිය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 15.2ක් තුළ කඩුලු 4ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 89ක් පමණි.

පිළිතුරු ඉනිම සඳහා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව බ.ඉ. කොදෙව් කණ්ඩායමේ ඉලක්කය වූයේ පන්දු වාර 15ක් තුළ ලකුණු 99 කි. ඒ අනුව ලකුණු රැස්කළ බ.ඉ. කොදෙව් කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 99ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 26ක්, විශ්මි ගුණරත්න ලකුණු 24ක්, කවීෂා දිල්හාරි සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 14 බැගින් ලැබීය.

පන්දු යැවීමේදී බ.ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අෆී ප්ලෙචර් ලකුණු 23කට කඩුලු 4ක් බිඳහෙළීය.

පන්දුවට පහරදීමේදී බ. ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායිකා හේලි මැතිව්ස් ලකුණු 29ක් සහ ස්ටෙෆනි ටේලර් ලකුණු 28ක් ලැබීය.

පන්දු යැවීමේදී චමරි අතපත්තු ලකුණු 18කට කඩුලු 1ක්, කවීෂා දිල්හාරි ලකුණු 25කට කඩුලු 1ක් සහ සචිනි නිසංසලා ලකුණු 18කට කඩුලු 1ක් දවාලීය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15.2ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 89යි.

චමරි අතපත්තු 26, විශ්මි ගුණරත්න 24, කවීෂා දිල්හාරි 14, හර්ෂිතා සමරවික්‍රම 14.

අෆී ප්ලෙචර් 23-4.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 14.2ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 99යි.

හේලි මැතිව්ස් 29, ස්ටෙෆනි ටේලර් 28, ශේමයින් කැම්ප්බල් 16, ඒලියා ඇලන් 15.

චමරි අතපත්තු 18-1, කවීෂා දිල්හාරි 25-1, සචිනි නිසංසලා 18-1.
සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment