ශ්‍රී ලංකාවේ වර්ගවාදී යුද්ධයේ දී මියගිය දෙමළ ත්‍රස්තවාදීන් සැමරීම සඳහා කැනඩාවේ ස්මාරකයක් ඉදිකර ඇතැයි දැනගන්නට තිබේ. මේ ස්මාරකය ප්‍රභාකරන්ගේ ඔරිජිනල් ඊළාම් සිතියමෙන් සමන්විතය. කැනඩාවේ සිටින ප්‍රභාකරන් හිතවාදී අන්තවාදී ඊළාම් කොටස් විසින් මේ ස්මාරකය ඉදිකර ඇතැයි දැනගන්නට තිබේ. විදේශ ඇමැති විජිත හේරත් ඒ පිළිබඳ නිල වශයෙන් විරෝධය පළ කර ඇතත් කැනඩාව එම විරෝධය ශත පහකට ගණන් ගෙන නැත. කැනඩාව තුළ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ විශාල පිරිසක් සිටිති. මේ අයගෙන් 99% ක්ම 83 ජූලි කලබල සමයේ දී සහ යුද්ධය පැවැති 30 අවුරුද්ද තුළ ලංකාවෙන් කැනඩාවට පැන ගිය අය වෙති. මෙහි ඇති ලොකුම අවුල වන්නේ ඊළමට සපෝට් කරන සිංහලයන් ද කැනඩාවේ සිටීමය. එරටට නන්නත්තාර සිංහලයකු බැස්ස විට දෙමළ ජාතිකයෝ මහත් ලෙස උදව් කරති. එතැන් සිට ඒ සිංහලයා ඊළමට උදව් කරන සහ ඊළම ප්‍රාර්ථනා කරන සිංහලයෙක් බවට පත් වෙයි. කැනඩාවේ විශාල දෙමළ ඡන්ද පදනමක් තිබේ. කැනේඩියානු දේශපාලනඥයෝ මේ ඡන්ද පදනම බෙදාහදා ගෙන සිටිති. මේ ඡන්ද පදනමෙන් තොරව මැතිවරණවලින් ජය ගැනීම නූතන කැනඩාව තුළ දුෂ්කරය. ඒ නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කැනඩාවේ දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දීමට කැනේඩියානු දේශපාලනඥයන්ට සිදුවෙයි. ලංකාවෙන් ගොස් කෙළින්ම බෙදුම්වාදී දේශපාලනය කර කැනේඩියානු පාර්ලිමේන්තුවේ ඇමැති තනතුරු ලබාගත් ගැරී ආනන්දසංගරී වැනි අය පිළිබඳ මෙහිදී මතක් කර දිය යුතුය. ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ ජීවත් වූ කීර්තිමත් දෙමළ දේශපාලනඥයෙකි. ඔහු කවදාවත් ඊළමක් ඉල්ලුවේ නැත. ඒ වෙනුවට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වැඩිදියුණු කර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මේ කතාව බොහෝ දුර කිව හැකි කතාවකි. එහෙත් අපි වෙනත් මාතෘකාවකට යොමු වෙමු.
යාපනයේ පිහිටා තිබෙන ඓතිහාසික බෞද්ධ පූජනීය ස්ථානයක් වූ තිස්ස විහාරයේ ඉඩකඩම් ඒ අවට වෙසෙන සිංහල නොවන ජනයා විසින් අත්පත් කර ගනිමින් සිටින බව වාර්තා වේ. මෙම ඉඩම් විහාර දේවාලගම් පනත යටතේ තිබෙන දේපළය. ඒවා පිළිබඳ අයිතිය විහාර දේවාලගම් පනතට ඇත. ඒවා පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ගරු අධිකරණයටත්, බෞද්ධ කටයුතු කොමසාරිස්ටත් තිබේ. තිස්ස විහාරය යනු දැඩි දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන පූජනීය ස්ථානයකි. ඉන්දියාව තුළ දෙමළ බෞද්ධයන් මිලියන ගණනින් සිටිය ද ශ්‍රී ලංකාව තුළ දෙමළ බෞද්ධයන් නැති තරම්ය. නොබෝදා ඉන්දියාවේ අගවිනිසුරු ධුරයට පත් වූයේ ද පහත් යැයි සම්මත කුලයක බෞද්ධයෙකි. ලංකාවේ නැඟෙනහිර පළාතේ පූජනීය ස්ථානවලට අයත් විශාල භූමි ප්‍රමාණයක් අන්‍යාගමිකයන් විසින් අත්පත් කරගෙන තිබේ. මේවා වෙනුවෙන් සටන් කිරීමට මේ රටේ සිංහල දේශපාලනඥයන් කැමති නැත. ඔවුහු ඡන්දයට පෙර උතුරට සහ නැඟෙනහිරට ගොස් ඒ ප්‍රදේශවල සිටින ජන වර්ගවලට පොරොන්දු රැසක් දී කොළඹ එති. ඉන් පසු ඒ පොරොන්දු ඉටු කිරීමෙන් මෙහා කිසි දෙයක් කළ නොහැක. අනුරාධපුරයේ රන්මසු උයන ආසන්නයේ විශ්ව චක්‍රය නමැති ශිලා ලේඛනයක් පිහිටා තිබේ. මෙය වෘත්තවලින් සහ ඉපැරණි අක්ෂරවලින් සමන්විත වන අතර අදටත් හරිහැටි කියවා නැත. මේ විශ්ව චක්‍රය පිහිටි තැනට අඩි 50ක් පමණ ඈතින් සිංහල නොවන ගම්මානයක් පිහිටා තිබිණ. මේ ගමේ මිනිස්සු මෙයට අවුරුදු විස්සකට පෙර ලිප් ගල් බැන්දේ රන්මසු උයනේ තිබෙන ඉපැරණි ගල්වලිනි. මේ ගල් අවුරුදු දහස් ගණනකට පෙර රජවරුන් විසින් සාදන ලද ගොඩනැඟිලිවල කොටස්ය. මීට අවුරුදු විස්සකට පෙර ඒවා සංරක්‍ෂණය කිරීමට කවුරුත් සිටියේ නැත. අඩුම ගණනේ රන්මසු උයනේ මායිමේ තිබෙන විශ්ව චක්‍රය ආරක්‍ෂා වන පරිදි යකඩ වැටක්වත් ගැසීමට ආණ්ඩුව තුළ උනන්දුවක් තිබුණේ නැත. එහෙත් පුවත්පත් මගින් මේ බව පෙන්වාදීමෙන් පසුව අද වන විට විශ්ව චක්‍රය ඉදිරියෙහි භාග වැටක් ගසා තිබේ. ලංකාව යනු සිය අතීතය පිළිබඳ තඹ සල්ලියක උනන්දුවක් නැති බත් කන හරකුන් වෙසෙන රටකි. පුරාවස්තුවක් තිබෙන භූමියක් රජය යටතට ගැනීමේ නීතියක් මේ රටේ තිබේ. ඒ අනුව යාපහුව වැනි පළාත්වල ගෙවතුවලින් සඳකඩ පහණක් හෝ කිසියම් පුරාවස්තුවක් හමු වුණොත් ඉඩම් අයිතිකාරයෝ එම ඉඩම ආණ්ඩුවට යටත් වීම වැළැක්වීම සඳහා අදාළ පුරාවස්තුව කුඩුපට්ටම් කර දමති. ඒ අනුව ස්ථිර වශයෙන්ම මේ රටේ බත් කන හරක් සිටිති. එකම වෙනස තණකොළ කන හරක් ගොම දැමුවද බත් කන හරක් ගොම නොදැමීමය.