බදුල්ලේ ජනතාවගේ ඉල්ලීම නිසා යළි දේශපාලනයට ආවා – චමින්ද විජේසිරි

443

පාර්ලිමේන්තුවෙන් එළියට ගිය කතාවේ නොකී කතාවක් තියෙනවා

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයට සමුදීමේ කතාව පිටුපස නොකී කතාවක් ඇති බවත් සිය කඳවුරේ කිහිපදෙනකුගේ සහාය මත තමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක් තිබූ බවත් සමගි ජන සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් නායක අපේක්ෂක චමින්ද විජේසිරි මහතා ඊයේ (20දා) පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ අවබෝධය සහ තමාගේ බුද්ධිය හේතුවෙන් එම අභ්‍යන්තර කුමන්ත්‍රණය පරාජය කිරීමට හැකි වූ බව සඳහන් කළ විජේසිරි මහතා දේශපාලනය එපා වී සිටි තමා නැවත දේශපාලනයට ප්‍රවිෂ්ට වන්නේ බදුලු දිස්ත්‍රික් ජනතාවගේ ඉල්ලීම් අහක දැමිය නොහැකි නිසා යැයි කියා සිටියේය.

චමින්ද විජේසිරි මහතා ඊයේ එම අදහස් පළ කළේ මහියංගණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමින්ද විජේසිරි මහතා මෙසේද කීවේය.

පාර්ලිමේන්තුවෙන් එළියට බැස තමන් හොරකම්, වංචා කළේ නැහැ කියලා ඔප්පු කර පෙන්වන්න දෙසිය විසි පහෙන් එකෙකුට පුළුවන් වුණා නම් පුළුවන් වුණේ චමින්ද විජේසිරිට පමණයි. ඉතිහාසයේ පළමු වතාවට එහෙම දෙයක් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ අපි හරියට අවංකව මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු නිසයි. එහෙම නැත්නම් මේ වගේ තීරණයක් ගන්න බැහැ.

පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණීමේ කතාවේ තව නොකී කතාවකුත් තිබෙනවා. මම පාර්ලිමේන්තුවෙන් එළියට බහින අවස්ථා වනවිට දේශපාලනිකව අභ්‍යන්තර කුමන්ත්‍රණ හරහා මගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සහ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු වෙමින් තිබුණා. ඒ සඳහා අපේ පිලේ අපේ කඳවුරේ අය කිහිපදෙනෙකුගේ සහයත් ලැබෙමින් තිබූ බව කනගාටුවෙන් වුණත් කියන්න ඕනා. පාර්ලිමේන්තු නිලධාරියකුට සහාය වීමට අපේ කිහිප දෙනෙක් කටයුතු කරමින් තිබුණා. සමහරු ඒ සඳහා විකෘති සාක්ෂි සපයමින් උදවු උපකාර කළා.

කවුරුහරි අපට වංචා දූෂණ චෝදනා කරනවා නම් මම ඔවුන්ට කියන්නේ කරුණාකර අපට එරෙහිව පැමිණිලි කර අධිකරණය හමුවට යන ලෙසයි. එහෙම නැතුව චෝදනා කර කර ඉන්න එකේ පලක් නැහැ. අපට චෝදනා කරන ඇතැමුන්ට අද ආණ්ඩු බලය තිබෙනවා. ඔවුන්ට තවදුරටත් අපට විරුද්ධව චෝදනා කරන්න බැහැ. මොකද ඔවුන් සතුව තමයි අද ආණ්ඩු බලය සහ පොලිසිය තිබෙන්නේ. බොරුවට චෝදනා නොකර දැන්වත් අපට විරුද්ධව කටයුතු කරන්න ඔවුන්ට පුළුවන්. මෙච්චර කාලයක් පෙන්නපු ෆයිල්වලට දැන් මොකද වෙලා තියෙන්නෙ කියන ප්‍රශ්නය අපට අහන්න වෙනවා. ජනාධිපතිතුමා දැන් කියනවා ඔවුන් ළඟ ෆයිල් 400ක් තියෙනවා කියලා. දැන් බලය තියෙන්නේ ඔවුන් අතේ. ෆයිල් ගැන කියව කියව ඉන්නේ නැතුව දැන් පුළුවන් ඒවාට විරුද්ධව කටයුතු කරන්න.


advertistmentadvertistment