බලපත්‍ර කොන්දේසි කඩමින් රිටිගල කඳුවැටිය – ළඟ කළුගල් කැඩීමේ ජාවාරම වටලයි

100

ඓතිහාසික රිටිගල කඳුවැටියට ආසන්න ස්ථානයක දේශපාලන රැකවරණයෙන් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කළුගල් කැඩීමේ ජාවාරමක නිරත වූ සැකකරුවකු භූවිiා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කැකිරාව මරදන්කඩවල කොල්ලංකුට්ටිගම ප්‍රදේශයේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් සහ රජයට ගෙවිය යුතු රාජ්‍ය භාගය (ලක්ෂ 250ක් පමණ) ගෙවීම පැහැර හරිමින් කළුගල් කැඩීම සිදුකරන බවට ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදුකර ඇත.

මරදන්කඩවල පොලිස් නිලධාරීන්ගේ ද සහාය ලබාගෙන වැටලීම සිදුකර තිබේ. නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී දිනකට උපරිම පිපිරුම් වාර 07ක් සිදුකිරීමට අනුමැතිය දී ඇතත් එම ප්‍රමාණය ඉක්මවා වෙඩි පිපිරීම් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇත.

නිලධාරීන් සිදුකළ වැටලීමේදී ලේඛනවල සටහන් නොවුණු ඩෙටනේටර් 07ක් තිබී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම ඩෙටනේටර් මොවුන්ට ලැබුණේ කෙසේද යන්න නිලධාරීන්ගේ දැඩි අවධානයට ලක්වී ඇත.

මෙම ජාවාරමේ චෝදනාව එල්ලවන ප්‍රධානියා ඇතුළු ඉහළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ගබඩා පාලක යැයි කියන සුළු සේවකයකු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවට ද නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.

කළුගල් කියුබ් 70,000ක් පමණ කැඩීම සඳහා පුපුරන ද්‍රව්‍ය ලබාගෙන මෙම ස්ථානයේ කළුගල් කියුබ් ලක්ෂ 06ක් පමණ කඩා ඉවත් කරගෙන ඇති බවට නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් නිලධාරීන් ලේඛන පරීක්ෂා කරමින් විමර්ශන සිදුකරන බව වැටලීම සිදුකළ නිලධාරියෙක් පැවැසීය.

මේ සම්බන්ධයෙන් භූවිiා හා පතල් කාර්යාංශයේ සභාපති කිත්සිරි මංචනායක මහතාගෙන් දිවයින ඊයේ (19දා) කළ විමසීමේදී ඔහු කියා සිටියේ මරදන්කඩවල කොල්ලකුට්ටිගම ප්‍රදේශයේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් සිදුකළ කළුගල් කැඩීමේ ජාවාරම වටලා සැකකරුවකු නීති විරෝධී ඩෙටනේටර් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බවත් ඒ සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත්ය.

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන මෙම ස්ථානයෙන් රජයට ගෙවිය යුතු මුදල් නොගෙවීම සුළුවෙන් තැකිය නොහැකි බවත් එම මුදල් අයකර

ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත් මංචනායක මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment