බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ගැන දැනුවත් වෙමු

122

බ්‍රහස්පති විශාලතම ග්‍රහයා වන අතර උප ග්‍රහයන් 11 කින් යුතවෙයි. බ්‍රහස්පති ග්‍රහයා පුරුෂ ග්‍රහයෙකි.එසේම ග්‍රහ පවුලේ පුරෝහිතයා සහ සෞභාග්‍යයාධිපති ලෙසටද නම් කරයි. එම ග්‍රහයා පඨවි හා සාත්වික ගුණයෙන් පෝෂිත සෞම්‍ය ගුණයෙන් යුතු උභය ග්‍රහයෙක් වන ගුරු පෘතුවියට තරමක් ඈතින් පිහිටයි. තාරකා ග්‍රහයකු ලෙස සැලකෙන ගුරුමන්ත්‍රී, සාම්පතී, සුරගුරු, අංගිර, අභි, ආචාර්ය, අංගීරස, අජ, සූර අප්රා, වධනිසුරු, අංගාරා, සූරමන්ත්‍රි, වාචංපති, චන්ද්‍රාය, ඊජය, ප්‍රශාන්ත, ජීව, දේවගුරු, සූරපූජිතඃ, අමරෙජය, ඊඩපම්, ත්‍රිදිවේෂ, සුරැජර, මේෂූ, ජෛවින්, පයසායම්, බඹගුරු, සුරෙජ්ජා ආදී ලෙස පරියාය පද රැසකින් හඳුන්වනු ලබයි. ශුභ ග්‍රහයකු මෙන්ම පුත්‍රකාරකයා ලෙස ද හඳුන්වන ගුරු ජන්ම පත්‍රයක 2 වැන්නට, 5 වැන්නට, 9 වැන්නට මෙන්ම 11 වැන්නට ද කාරක වේ. ඒ සම්බන්ධව භාව කාරකයන් සම්බන්ධ ස්ලෝකයේ මෙසේ දැක්වේ.

“සූර්යෝ ගුරුඃ කුජඃ සෝමෝ
ගුරුර් භෞමො භෘගුඃ ශනි
ගුරුර් චන්ද්‍ර සූතෝ ජීවෝ
මන්දාශ්ව භාව කාරකඃ”

උක්ත ස්ලෝකයට අනුව ඒ ඒ භාවවලට කාරක ග්‍රහයන් භාව අනුපිළිවෙළින් කියවේ. ලග්නයට දිග්බල වන ගුරු ජන්ම පත්‍රයක ආයුස්ථානයක් වන 3 වැන්නට අශුභය. ඒ බව ස්ලෝකයක මෙසේ දැක්වේ.

“චන්ද්‍රාෂ්ඨ මංච ධරනී සුත සප්තමංච
රාහුර් නවංච ශනි ජන්ම ගුරුර් තෘතියේ
අර්ගේසු පංච භෘගු ෂෂ්ඨ බුධං චතුර්තේ
මානාර්ථ හානි මරණානි භයානි කූරියා”

සාමාන්‍යයෙන් බ්‍රහස්පතී ග්‍රහයා ඕනෑම ජන්මියකුගේ අධ්‍යාත්මිකත්වය මෙන්ම යුක්තිගරුක බව මොනවට විදහාපාන අතර අධ්‍යාපනයට, නීතියට, දර්ශනයට මෙන්ම වෙළෙඳ ව්‍යාපාර ආදියටද මූලික වේ. එසේම ගුරු ශරීරයේ මේදය සම්බන්ධව ද දරු මුනුබුරන් හා සීයා සම්බන්ධව ද පුද්ගල කීර්ති සම්බන්ධව ද ආශ්‍රයට ලැබෙන උගතුන්, ප්‍රභූන් සම්බන්ධව ද අධිපති වේ. යම් ආකාරයකින් ගුරු දුර්වල ජන්ම පත්‍ර හිමියන් බොහෝවිට පින් ආබාධ, දියවැඩියාව, අධික ස්ථුලතාව, උණ, සෙංගමාලය, අක්ෂිරෝග හා ලිංගාශ්‍රිත රෝගවලින් පීඩා විඳී.

සතියේ දින 7 අතුරින් බ්‍රහස්පතින්දාට අධිපතිත්වය දරන ගුරු ග්‍රහයා ගුරු හෝරාවටත් ගුරු පංචම හා සූක්ෂම හෝරා ආදියටත් අධිපතීත්වය දරයි. ලග්නයට දිග්බල වන ගුරු ජන්ම පත්‍රයක ලග්නගත වීම තුළද තත්කාල කේන්දරයක ලග්නගත වීම තුළද කෝටියක් දෝෂ භංග වේ. ගුරු කටක රාශියේ 50 දී පරම උච්ච වන අතර මකර රාශියේ 50 දී පරම නීච වේ. තවද ගුරු ධනු හා මීන යන උභයරාශි දෙකට ස්වක්ෂේත්‍ර වේ. එසේම ගුරු තමා සිටින තැනින් දෘෂ්ටිමය වශයෙන් 5 වැන්න, 7 වැන්න, 9 වැන්න දකී. ඒ බව ස්ලෝකයක මෙසේ කියවේ.

“ත්‍රී දස රවි ශනි චන්ද්‍රෝ
කුජ බුධ චතුර් අෂ්ටකං
ගුරු ශුක්‍ර නව පංච
සප්තමං සර්වේ සාදා”

තවද අට දිශාව අතුරින් මරු නැති එකම දිශාව වන ඊසාන දිශාව ගුරුට අයිතිය. කෙසේ වෙතත් යම් ජන්මියකුගේ ගුරු ග්‍රහයා ප්‍රබල වූ කල එකී ප්‍රබලත්වය යම් පමණ වැඩි කරනු සඳහා 450ක වර්තන අංකයක් ලැබෙන සේ කපන ලද කැරට් දෙකකට වැඩි පලුදු නැති පුෂ්පරාග මැණිකක් රත්‍රං මුදුවකට අල්ලා ශරීරයේ ස්පර්ශ වන සේ පැලඳීම සිදු කරයි. එහෙත් මෙම ක්‍රමවේදය ගුරු කුල අනුව ඇතැම්විට වෙනස් වේ. ඒ දුබලයා තවත් දුබල කරනු වස් දුබලයාගේ සතුරු ග්‍රහයන් බලවත් කිරීම ආදී ලෙසය.

ජීව ග්‍රහයකු වන ගුරු විෂ්ණු ස්ථාන වන කේන්ද්‍ර ස්ථාන තුළ උච්ච, ස්වක්ෂේත්‍ර වන කල ගුරු හංස නැමති පංච මහා පුරුෂ යෝගය උදා වේ. මෙම යෝගය ශුභ ධන යෝගයක් වන අතර මෙහි ඵල උපරිමව ලැබීමට නම් එම ගුරු වක්‍ර නොවී රවිට 110ට වඩා ළංව අස්ථ නොවී ග්‍රහ යුද්ධ ආදියෙන් නොපැරදී පංච මහා පුරුෂ යෝග භංග වන ග්‍රහ පිහිටීම් වන ශනි ගුරු සංයෝගය, ශනි විසින් ගුරු දැකීම, ගුරු කේතු සංයෝගය හා මෙකී ගුරු තවත් ග්‍රහයකු හා සංයෝග වීම ආදී කරුණුවලින්ද එසේම ගුරු නිදනාම්ශ ගතවීම් අෂ්ටමාංශගත වීම් මෙන්ම ඛර නවාංශකාධිපති මෙන්ම ඛර දෙර්කානාධිපති හෙවත් 22 වන දෙර්කානාධිපති වීමෙන්ද 64 නවාංශකාධිපති සේම බාධක ග්‍රහයා වීමෙන්ද ආදී මෙකී නොකී කරුණුවලින් තොරව අශුභ පාපි දෘෂ්ටි සංයෝග ආදියෙන් තොරව නිර්මලව බලවත්ව සිටිය යුතුය. ගුරු ජිද්‍ර ග්‍රහයකු නොවිය යුතුය.

ගුරු ග්‍රහයා රවි චන්ද්‍ර හා සිකුරු යන ග්‍රහයන්ට වඩා අඩු නෛසර්ගික බලයකින් යුතු අතර ශනි, කුජ හා බුධ යන ග්‍රහයන්ට වඩා වැඩි නෛසර්ගික බලයකින් යුතුය. එසේම රවි, චන්ද්‍ර, කුජ, නැප්චූන්, ප්ලූටෝ හා කේතුට නෛසර්ගව මිතුරු වන ගුරු; ශනි, යුරේනස් හා රාහුට නෛසර්ගිකව සම වන අතර බුධ හා සිකුරුට නෛසර්ගිකව සතුරු වේ. එහිදී සිකුරුගේ නෛසර්ගික සතුරු බව ‘ගුරු ශුක්‍ර සදා වෛරං’ යන කියමනෙන් තව තවත් මනාව තහවුරු වේ. කෙසේ වෙතත් ජන්ම පත්‍රයක ගුරු අනියම් පෝෂක ග්‍රහයා වනවාට වඩා පෝෂක ග්‍රහයා වීමද විම්ශෝපාක බලය තුළින් ගුරු ග්‍රහයා ඉහළ ප්‍රතිශතයක් හිමි කරගැනීම ද ඉහළ ශුභ ඵල උදාකරන කරුණුය. තවද මෙම ගුරු කර්ම පාලක ග්‍රහයකු වීමද ජන්මියාට ශුභඵල දායකය. එසේම ගුරු සෙසු ග්‍රහයන්ට තත්කාලීනව මිතුරු වීමද ජන්මියාට බෙහෙවින් වාසි සහගතය. එපමණක් නොව ගුරු චිත්තාංශක ග්‍රහයා වීමද ඉතා වටී.

ග්‍රහ ගෝචරය අතින් බලන කල ගුරු වසරත් රාශියක ගත කරයි. ඒ එක් සූර්ය දිනයකදී ගුරු කලා 5ක් පමණ ඉතා සුළු දුරක් ගමන් කරන බැවිනි. විංශෝත්තරී දශා ශේෂය සලකන කල ගුරු ග්‍රහයාට හිමි කාලසීමාව වසර 16කි. ගුරුගේ යෝගකාරකත්වය සලකන කල මේෂයට ගුරු යෝග කාරක වන අතර කටකයට හා වෘශ්චිකයට අර්ධයෝග කාරක තත්ත්වයක් උසුලයි.

තවද ගෝචරයේදී උප්පත්ති කේන්දරයේ චන්ද්‍රයා කෙරෙන් 1,4,10 ස්ථානයක ගුරු ගෝචරය වීම කර්ම ගුරු අපලය ජන්මියාට උදා කිරීමකි. මෙය එක්තරා ආකාරයක ඒරාෂ්ටක අපලයකි. වසරක කාලයක් පවතින මෙම අපලය මඟහරිනු වස් හෝ දැඩි බව සටහන් කරනු වස් කළයුතු වත්පිළිවෙත් කිහිපයකි. ඒ මෙසේය.

ගුරුට හිමි වෘක්ෂය වන බෝ ගසට පූජා පැවැත්වීම සහ සෙවණේ සිටීම.

ගුරුගේ වර්ණය වන කහ පැහැ මල් පූජාව, කහ පැහැ වස්ත්‍ර දන් දීම.

සාමාන්‍යයෙන් ගුරු ග්‍රහයා යම් ජන්මියකුගේ ජන්ම පත්‍රයේ ඛර දෙර්කානාධිපති හෙවත් 22 වන දෙර්කානාධිපති 64 නවාංශකාධිපති, ඛර නවාංශකාධිපති වන කාල ගුරුට හිමි මහ දශා අන්තර් දශාවල මාරක අපලකාරී තත්ත්ව ඇතිවිය හැකි බැවින් ඉහත සඳහන් ගුරුට අදාළ වත්පිළිවෙත් භක්තියෙන් සිදුකර අපලයේ දැඩි බව සටහන් කරගැනීම ඥානාන්විතය. එසේම ගුරු බාධක ග්‍රහයා වන කල එම බාධක තත්ත්වය සටහන් කරනු වස්ද උක්ත වත්පිළිවෙත් මහෝපකාරීය. එපමණක් නොව පූනාවස, විසා හා පුවපුටුප ගුරුට හිමි නැකැත් වන අතර ගුරු ග්‍රහයා අවට 60ක ප්‍රමාණයක රශ්මිය පවතී. ගුරුට මිනිස් සිරුරේ උකුල ප්‍රදේශය අයත් වේ. ෂඩ්විධ බලය අතින් කාල බලය සැලකූ කල ගුරු දිවා කාලයට මෙන්ම පුර පක්ෂයට කාල බලය අතින් බලවත්ය.

තවද නාරා ග්‍රහයකු වන ගුරු වෙනස් වන වෘද්ධ ග්‍රහයෙකි. එම ගුරු මිථුන, කන්‍යා යන උභය රාශි ද්විත්වයට බාධක ග්‍රහයා වන අතර ගුරු ආත්මකාරක ග්‍රහයා වීම ද ශුභය. එසේම පාලන හා ඉෂ්ට දේවතාවන් දේවතාවියන් සෙවීමේදී ගුරුට බ්‍රහ්ම හා සරස්වතී දේවිය හිමිය. ඒ පමණක් නොව යමෙකුගේ බුද්ධි මට්ටම පෙන්වන පාක ලග්නය හෙවත් ලග්නාධිපතියා සිටින රාශියට කාරකයා ද ගුරු ම වේ.

බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා ගැන දැනුවත් වෙමු

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment