බාල බෙහෙත් ගෙන්නපු අයට දඬුවම් නොදෙන්නේ ඇයි? -විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

74

සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් විශාල කඹ ඇඳිල්ලක් තිබෙනවා – දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි

හදිසි මිලදී ගැනීම් යටතේ විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමි වෙනවා – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

හොඳ දත්ත පද්ධතියක් හැදීමට නිලධාරීන් ඉඩ දුන්නෙම නෑ – මහාචාර්ය චන්න ජයසුමන (ශ්‍රීලපොපෙ)

මෙතෙක් විශ්වාසභංග 48ක් ගෙනාවත් එකක්වත් ජයග්‍රහණය කර නෑ- වජිර අබේවර්ධන (එජාප)

ආණ්ඩුව හිතාමතා සෞඛ්‍ය අංශ කඩා වට්ටනවාද කියන ප්‍රශ්නය අද තිබෙනවා – ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා හතර ගුණයක් මුදල් වියදම් කර ඇතත් එලෙස ගෙන්වන්නේ ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් නම් ඒ බාල බෙහෙත් ගෙන්නපු අයට දඬුවම් නොදෙන්නේ ඇයි දැයි කියා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) ප්‍රශ්න කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම 27/2 යටතේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීම ඉන්පසුව සිදු විය. අනතුරුව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විෂ්වාසභංග යෝජනාව විවාදය දෙවැනි දිනට ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින්, මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (සජබ)-

මේ රජය බලයට පත් වූ දා සිටම සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇද වැටුණා. නිදහස් සෞඛ්‍ය සේවයේ තියන ලොකුම ප්‍රශ්නය තමයි මහජන විශ්වාසය අද නැති වීම. වෛද්‍යවරුන් ගණනාවක් සමඟ අපි සාකච්ඡා කළා. ඒ හැම කෙනාම කියන්නේ වෛද්‍ය සේවාව පිළිබඳ තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන්ම පලුවෙලා කියලයි. රටේ මතයක් තිබ්බා බරපතළ රෝගී තත්වයක් ඇතිවුනාම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යන්න කියලා. පෞද්ගලික රෝහලට ගියේ නෑ. මොකද රජයේ රෝහල හොඳට සාත්තූ කෙරුවා. නමුත් අද ඒකේ අනිත් පැත්තයි වෙන්නේ. එදා ලලිත් ඇතුලත්මුදලි මහතාට වෙඩි තිබ්බ වෙලාවේ ආණ්ඩුව හැදුවා එතුමාව පිටරට අරන් යන්න. නමුත් ලෙඩ ඇඳේ ඉඳන් එතුමා කිව්වා මට අපේ වෛද්‍ය සේවාව පිළිබඳව අසීමිත විශ්වාසයක් තියෙනවා කියලා. දැන් කියනවා මේ අර්බුදය මුදල් නැති නිසා කියලා. නමුත් අපි ඖෂධ සඳහා හතර ගුණයක් මුදල් වියදම් කර තියෙනවා. මේක මුදල් ප්‍රශ්නයක් නෙමෙයි. අපිත් බෙහෙත් ගන්නවා. ෆාමසි එකට ගිහිල්ලා බේත් ඉල්ලුවාම ලබාදෙන බෙහෙත්වලට මොකක්ද තියෙන වගකීම? මම ඇමතිතුමාගෙන් අහනවා බාල බෙහෙත් ගෙන්නපු අයට දඬුවම් කරලා තියෙනවද කියලා? ව්‍යාජ බෙහෙත්, නිර්වින්දන ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය මගින් අනාවරණය කළ මරණ 10යි, වකුගඩු කාන්දු කරන අනතුරුව පේරාදෙණිය හා මහනුවර රෝහල් ආශ්‍රිතව මාධ්‍ය මගින් අනාවරණය කළ මරණ 10යි, නුවරඑළිය සහ ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්මවලින් අනතුරුව ආබාධිත රෝගීන් 70යි, මම ඇමතිතුමාගෙන් අහනවා 131 වගන්ති අනුව කීදෙනෙක්ට නඩු දාල තියෙනවද කියලා. තාම එක නඩුවක් වත් දාලා නෑ. ළමයි මැරෙනවා, මිනිස්සු මැරෙනවා, බාල බෙහෙත්, පිටි ගුලි,ලේබල් ගහලා ගෙන්වනවා. මාධ්‍ය වාර්තා සීයක් විතර තියෙනවා. ඔබතුමා කියන්නේ මේවා බොරු කියලාද? මේ එකක් හෝ ඇත්ත නෙවෙයිද? මේකෙන්ම පේනවා අමාත්‍යංශ ලේකම්වරයා සහ ලියාපදිංචි නැති සමාගම් අතර විශාල සම්බන්ධයක් තියෙනවා. මෙහෙම අමාත්‍යංශ ලේකම්වරයාට බලය දෙන්න එපා.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා:

සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණදෙන අර්බුද පුද්ගල කේන්ද්‍රීය අර්බුද නොවෙයි. කෝවිඩ් තත්ත්වය තුළ අපි විශාල අර්බුදයකට මුහුණ දුන්නා. විවිධ ප්‍රශ්න අපට එල්ලවුණා. අපට කුමන්ත්‍රණවලට මුහුණ දෙන්න සිදු වුණා. විදේශීය විනිමය නැතිවුණා. අන්තිම සංචාරකයාත් මේ රටින් පන්නන්න කුමන්ත්‍රණ සිදු වුණා. අපි බෙහෙත් ගෙන්වන්න විශාල මුදලක් වැය කරනවා. බෙහෙත් දීලා පමණක් ලෙඩ සුව කරන්න පුළුවන්ද කියලා සාකච්ඡාවක් කරන්න යනවා. ලෙඩේට බෙහෙත් දෙනවාද නැත්නම් පුද්ගලයාට බෙහෙත් දෙනවාද කියලා අපි බලන්න ඕනා. මේ රටේ දේශීය බෙහෙත්, ප්‍රතිකර්ම ඕනෑ තරම් තිබෙනවාද? දැන් එකම බටහිර බෙහෙත අඛන්ඩව ගන්න අය ඉන්නවා. එවිට අතුරු රෝගාබාධ හැදෙනවා. බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන එන්නත් ගැනත් දැන් ගැඹුරු කතිකාවතක් යනවා. දේශීය චිකිස්සක ක්‍රම ගැන දැන් සාකච්ඡා වෙනවා. බලන්න අපි පෙති ගිලිනවා ආහාර වගේ. අපේ සමස්ත සෞඛ්‍ය වියදමින් සියයට 38ක් මේ බටහිර බෙහෙත් ගෙන්වීම සඳහා වැය වෙනවා. මේ අර්බුදය තමයි තිබෙන්නේ. ඒකට සෞඛ්‍ය ඇමැතිට හෝ නිලධාරීන්ට දොස් කියලා වැඩක් නෑ. බොරු මඩ ගහනවා. අපට පෙනෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් විශාල කඹ ඇඳිල්ලක් තිබෙනවා. දැන් බලන්න පීඑච්අයි ලා ගැන මට නම් තේරෙන්නෑ ඒ අය මොනවද කරන්නේ කියලා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා පෙත්තප්පුලා ටිකක් හුදු විවේචන පමණක් කරනවා. මයික් දැක්කහම මේ පෙත්තප්පුලා ඒවාට කොටනවා. දේශපාලන අභිලාෂයන් ඉෂ්ට කරගන්න ජනතාව වෙත අවිශ්වාසය පතුරවන්න ඒ අය ක්‍රියා කරනවා. දැන් අපේ වෛද්‍යවරුන් රට හැර යනවා කියනවා. එහෙම කරන්නේ සමහරු තමන්ගේ දරුවන්ට උගන්වන්න. ඇයි තමන් කළ ඒ විශ්ෂ්ඨ කැපවීම තමන්ගේ දරුවන්ට කරන්න බැරි බව දන්න නිසා ඔවුන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න තමයි මේ යන්නේ.

රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය :

කොවිඩ් එන්නත සඳහා රුපියල් බිලියන 69ක් රජය වැය කළා. දැවැන්ත අර්බුද අවස්ථාවල දී ඒ සඳහා අවශ්‍ය මුදල් රජය වැය කළා. සෞඛ්‍ය අංශවලට අවශ්‍ය මුදල් දෙවරක් නොසිතා රජය වෙන් කර තියෙනවා. රෝගියා අසරණ තත්ත්වයට පත්වන අයෙක්. ඔහු වෙනුවෙන් අවශ්‍ය සහන දිය යුතුයි. රාජ්‍ය වෛද්‍ය සේවාව තමයි එදා සිටම ජනතාවට විශ්වාසව පවතින්නේ. නිදහස් සෞඛ්‍ය සේවාව මගින් දිළින්දාගේ සිට දානපතියා දක්වා හැමෝටම අවශ්‍ය ප්‍රතිකාර බේදයකින් තොරව ලබා දෙනවා. අයවැයෙන් වෙන් කළ මුදල්වලට අමතරව කිහිපවරක්ම සෞඛ්‍ය අංශවලට මුදල් ලබාදීම් කර තියෙනවා.

වෛද්‍යවරුන් රට හැරයෑම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට දැඩිව බලපානවා. නිදහස් අධ්‍යාපනයක් වෛද්‍යවරුන් ලබනවා. වෛද්‍යවරයෙක් නිර්මාණය කරන්න ජනතාවගේ මුදල්කොපමණ වැය කරනවාද? එය බරපතළ තත්ත්වයක්.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) :

විශ්වාසභංගය පරාජය වී ඇමැති දිනුවත් ඇමැති හෝ ආණ්ඩුව කෙරෙහි ජනතාවට පවතින විශ්වාසභංගය දිනන්න වෙන්නේ නෑ.

සෞඛ්‍ය පිරිහීමට හේතුව ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල වැරැද්දයි. ආණ්ඩුව සෞඛ්‍යයට, අධ්‍යාපනයට වෙන් කළ මුදල් කපා හැරියා. එවිට ඇමැති තමයි ගොදුරක් වෙන්නේ.

මුළු රටම බංකොළොත් වෙලා හැම අංශයම කඩා වැටිලා. ආණ්ඩුව වෙන් කරන සොච්චම් මුදලත් හොරකම් දූෂණ නිසා නියමාකාරව භාවිතා වෙන්නේ සියයට 40-50ක් විතර තමයි.

බෙහෙත් ගෙන්වීමේ දී මාෆියාවක් තියෙනවා. එය පරාජය කිරීමට කාටවත් හැකි වී නෑ. කෙහෙළිය ඇමැතිකමින් ඉවත් කළහොත් ඒ ඇමැතිකම ගන්න විපක්‍ෂයේ කෙනෙක් ඉන්නවා. ඒක ගන්න කෙළ හලහලා. පසුගිය මාස කිහිපයේ දී කෙළ හලමින් සිටියේ. එදා ඇමැතිකම දුන්නානම් අද ඔහු විපක්‍ෂයේ නෑ. ඒ නිසා මේවායේ යටි අරමුණුත් තියෙනවා.

මේ රටේ ජනතාව ගැන හිතන්නෙ නැතිව ප්‍රතිපත්ති තීරණ ගෙන වියදම් කරලා දැන් කියනවා කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. මේ සෞඛ්‍ය අංශයේ කඩා වැටීම ගැන ඇමැති කිසිම තැකීමක් කළේ නෑ. සෞඛ්‍යයේ තියෙන්නෙම වංචා, දූෂණ ගැන කතා කිරීමක් පමණයි. බෝ නොවන රෝග අඩු කරගන්නේ කොහොමද? ඒ සඳහා සෞඛ්‍ය අංශය මෙහෙයවන්නෙ කොහොමද කියලා අද කතාකළ යුතු වුවත් එවැන්නක් සිදුවන්නේ නෑ. හිතාමතා සෞඛ්‍ය අංශ කඩා වට්ටනවාද කියා කියන ප්‍රශ්නය අද මතුවෙලා. ප්‍රශ්න ඇති වුණාම ජනතාව රෝහල්වෙත යන්නෙ නෑ. එවිට වියදම් අඩුවෙනවා. මේවට තමයි පිඹුරු පත් හදන්නේ. ඒකට ආණ්ඩුව වගකිව යුතුයි.

පත් කළ මන්ත්‍රී වජිර අබේවර්ධන :

විශ්වාසභංග 48ක් නිදහසින් පසු ගෙනවිත් තියෙනවා. එකක්වත් ජයග්‍රහණය කරලා නෑ. මෙයින් ඇමැතිවරු 13කට විශ්වාසභංග ගෙනල්ලා තියෙනවා. ඒකක්වත් දිනලා නැහැ. දිනලා තියෙන්නේ අදාළ ඇමැතිවරු සිංගප්පූරුව එක විශ්වාසභංගයක්වත්ගෙනල්ලා නෑ. සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳයි. රට ඉදිරියට යනවා.

රට කඩා වැටීමට අපි සියලුදෙනා වගකිව යුතුයි. කාටවත් නැහැ කියලා කියන්න බැහැ. හැමෝම පාලනයට හවුල් වුණා. මුළු ආර්ථිකයම කඩා වැටුණු නිසයි සෞඛ්‍යයත් කඩා වැටුණේ.

අපි නැවත බෙදීමක් ඇති කරගෙන දේශපාලනය කරන්නේ නම් විනාශයට යනවා. වෛද්‍යවරුන් රට ගියා කියා සතුටින් කෑගැහැව්වට වැඩක් නෑ. විකල්පයක් සෙවිය යුතුයි. විශ්‍රාම ගිය වෛද්‍යවරුන් යළි කැඳවිය යුතුයි. ඒ වගේම විශ්‍රාම යන්න ඉන්න අය තවදුරටත් ඉන්න කැමති නම් ඔවුන්ව තියාගන්න. රට යන අය නවත්වන්න බැහැ.

රුපියල් බිලියන 500ක විතර මුදල් අවශ්‍යතාවක් තියෙනවා. ඒවා සපුරාගත යුතුයි. ලෝක සංවිධාන කිහිපයක් 15 වැනිදා ලංකාවට එනවා. ඒ නිසා 25 වැනිදා වනවිට ලංකාව බංකොලොත් කියන සීල් එක ගලවාගත යුතුයි. ඊට පස්සේ අමාත්‍යාංශ නිලධාරීන්ට වැඩ පටන්ගන්න හැකියි.

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර (සජබ) :

අපේ කාලයේ සෞඛ්‍ය අංශය ඉදිරියටම ගියා. අද දොස්තරවරු නෑ. මේ සියලලට රජය හා ඇමැතිවරයා වගකිව යුතුයි. මිනිස්සු මැරෙද්දී අපට බලා ඉන්න බැහැ. ඒ නිසයි විපක්‍ෂය විශ්වාසභංගය ගෙනාවේ. මේ රටේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කළා. හදිසි මිලදී ගැනීම් මගින් ඖෂධ ගත්ත නිසයි මේ ප්‍රශ්න ඇතිවුණේ. අනුමත සැපයුම්කරුවන්ට මුදල් ගෙවන්නේ නැහැ.

ගෙව්වේ නැති වුණහම ඔවුන්ට යළි ඖෂධ ගේන්න විදියක් නෑ. බැංකු ණය ගන්න බැහැ. එවිට හදිසි සැපයුම් කියලා බෙහෙත් ගන්නවා. අවශ්‍ය දේවල් නොවෙයි.

කළමනාකරණයක් නැති මිලදී ගැනීම් නිසා බෙහෙත් සියයට 22ක් විනාශ කරනවා. මේ රටට අවශ්‍ය ඖෂධ වලින් 320ක් අද රෝහල්වල නැහැ. අද රෝහල්වල වෛද්‍යවරුන් නෑ. රට බංකොලොත් කළා.

රට හදන්න අද වෘත්තිකයන්ගෙන් බදු වැඩිපුර ගන්නවා. ඒ නිසා ඔවුන් රටදාලා යනවා. රටේ දූෂණ වැඩියි. විටමින් පෙති දොළොස් කෝටියක් තියෙනවා. පැරසිටමෝල් එකොළොස් කෝටියක් ගබඩාවල. අත්‍යවශ්‍ය නොවන මිලදීගැනීම හදිසි මිලදී ගැනීම් දූෂිතව සිදුවෙලා. වකුගඩු කාන්දුකරණයට අවශ්‍ය ඖෂධ එක්ලක්‍ෂ පනස් දාහක් තියෙද්දී තවත් ලක්‍ෂ 12ක් අරන් ගබඩාවල තියෙනවා. මේවායේ පුස් වර්ගයක් බැඳී ඇති බවට දැන් සඳහන් වෙනවා. මෙයින් වූ පාඩුව රුපියල් මිලියන 500ක්. මේ වැරදිවලට අපේ ආණ්ඩුවක් යටතේ වැරැදිකරුවන්ට දඬුවම් කරනවා.

රාජ්‍ය ඇමැති කනක හේරත් :

අද මේ ආණ්ඩුවට එල්ල කරන චෝදනා හැම සෞඛ්‍ය ඇමැතිවරයකුටම කලින් එල්ල වෙලා තියෙනවා. ඇමැතිවරු වෙනස් වුවත් චෝදනා වෙනස් වෙලා නෑ. ඇමැතිට විශ්වාසභංග ගෙනල්ලා මේවා නතර කරන්න බැහැ.

වංචා දූෂණ නතර කරන්න අපි සියලු දෙනා එක්ව නව ක්‍රියාමාර්ග ගත යුතුයි. දකුණු ආසියාවේ හොඳම නිදහස් සෞඛ්‍ය අධ්‍යාපනය තියෙන්නේ අපේ රටේ. වෛද්‍යවරුන්ව විවේචනය කළත් තම අභියෝග ගැන සිතා නොවෙයි සේවය කළේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ) :

රෝහලකට ගියාම පණපිටින් ගෙදර එන්න වෙයිද අතක් පයක් නැතිව ගෙදර එන්න වෙයිද කියලා චකිතයක් ඇතිවෙලා තියෙනවා. ඖෂධවල ගුණාත්මකභාවය ගැන අද විශාල ප්‍රශ්න මතුවෙලා. ප්‍රමිතිය අඩු නිසා සමහර බෙහෙත් ඉවත් කළා කියනවා. කවුද මේවට වගකියන්නේ. බෙහෙත් ගෙන්වීම ගැන විනිවිදභාවයක් නෑ. මේවා ජනතාවගේ සල්ලි. කවුරු හරි මේවාට වගකීම භාරගන්න ඕන.

හදිසි මිලදී ගැනීම් කියලා කොහෙන් හරි බෙහෙත් ගන්නවා. මේ නිසා මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. සීටී ස්කෑන් මැෂින් විශාල ප්‍රමාණයක් වැඩ කරන්නේ නෑ කියලා වාර්තා වෙනවා. එම්ආර්අයි ඇතුළු යන්ත්‍ර වැඩ කරන්නේ නෑ. කලින් සෞඛ්‍යයට වෙන් කළ මුදලින් හතරෙන් එකයි දැන් වෙන් කරන්නේ.

අපේ රටේ ජනතාව දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දැඩි කැපවීමක් කරනවා. ඒ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා. දූෂිත මාෆියාවෙන් මේ රට බේරාගත යුතුයි. එසේ නොවනතාක් මේ රට කවුරු ආවත් හදන්න බෑ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන (ශ්‍රීලපොපෙ) :

වංචාවන් සිදු වන්නේ හදිසි මිලදී ගැනීම් නිසයි. හදිසි මිලදී ගැනීම් සිදුවන්නේ අපේ රටේ සෞඛ්‍ය දත්ත කිසිම වේලාවක ගන්න බැරි නිසයි. 2008 සිට තොරතුරු පද්ධතියක් හඳුන්වා දෙන්න උත්සාහ කළා. රුපියල් බිලියන ගණනක් වෙන් කරලා. මේක අසාර්ථක පද්ධතියක් බවට පස්සේ කිව්වා.

මම ඇමැති වූ විට නැවත හොඳ දත්ත පද්ධතියක් ස්ථාපිත කරන්න ගියාම වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන් කිහිපදෙනෙක් විරුද්ධ වුණා. කරන්න දුන්නෙම නෑ. ලංකාවේ සියලුම රෝහල් පද්ධතිය හරියට එකම පද්ධතියකට ගන්නකන් මේ ප්‍රශ්නය කවදාවත් විසඳන්න බෑ.

ඖෂධ 3000කට වඩා මිලදී ගන්නවා. ටෙන්ඩර් 2000ක් විතර කරන්න වෙනවා. මේක කරන්න අසීරුයි. මේවා කාණ්ඩ කරලා ටෙන්ඩර් කළ යුතුයි. එවිට වංචා දූෂණ අඩුකරගත හැකියි.

බාල බෙහෙත් ගෙන ඒමේ වරදට දඩය තියෙන්නේ රු. ලක්‍ෂ දෙකයි. සමාගම්වලට මේ දඩය සුළු දෙයක්. දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට නිසි අවස්ථාව හා පහසුකම් ලබාදෙන්න.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම (සජබ)

ඔක්කොම ඇඟිල්ල දික් කරන්නේ කොරකමට කොමිස් ගැහිල්ලට. අද ජනතාව ජීවත් වෙන්නේ ඉතා අමාරුවෙන්. දොස්තරලා රට හැරයන්නේ ජීවත් වෙන්න බැරි නිසා. ඔවුන්ට ගහන බද්ද ඉවත් කළොත් ඔවුන් රැඳේවි.

රටේ පාලකයා ජනාධිපති දැනගන්න ඕන හොරකම නැතිව පිරිස මෙහෙයවන්න. එදා තානාපතිවරයකු කළ පැමිණිල්ලකට අනුව අල්ලස් ඉල්ලපු ඇමැතිවරුන්ව ගෝඨාභය එළියට දැම්මා.

ජනාධිපතිතුමා ඊළඟ ජනපතිවරණයට එනවා නම් ඒවා හදාගන්න. ඡන්දය බලාගෙන ජනධිපති මේවා නිවැරදි කරන්නේ නෑ.

චැනල් ෆෝ එකේ සාකච්ඡා මම සියයට 50ක් විශ්වාස කරන්නේ නෑ. චැනල් ෆෝ ඕන නෑ. සිදුවූ දේ අපි දැක්කා. උඩ ඉන්න දෙවියන් දඬුවම් දෙන්න පටන් අරගෙන. ගෝඨාභය රටින් ගියා. වැරැදි කරපු හැමෝටම දඬුවම් දෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැම එකාම අතුගාලා දාලා හොඳට රට කරන ආණ්ඩුවක් එනවා විශ්වාසයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ) :

රටක් කඩා වැටී තිබියදී පිරිසක් ආහාරවලින්, ඖෂධවලින්, බලශක්තියෙන් ගසා කනවානම් ඒ රටේ අනුවේදනීය තත්ත්වය තවත් වැඩිවෙනවා.

ඖෂධ පිළිබඳ කළමනාකරණයක් කරලා අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම කළ යුතුයි. රට තුළ ඖෂධවලින් තුනෙන් එකක් නිපදවිය හැකියි. නිෂ්පාදන කර්මාන්ත දියුණු කළ යුතුයි. එවිට වැයවන මුදල් ඉතිරිකරගත හැකියි. රෝහල්වල යන්ත්‍ර කැඩිලා. මේ යන්ත්‍ර රොකට් තාක්ෂණය නොවෙයි. උපකරණ නඩත්තුව පිළිබඳ වැඩපිළිවෙළක් දේශීයව අවශ්‍යයි.

වනජීවි ඇමැති පවිත්‍රා වන්නිආරච්චි :

නිලධාරීන් ගැන ප්‍රශ්නයක් තියෙනවානම් කෝප්, කෝපා, විගණකාධිපති හරහා ප්‍රශ්න විසඳා ගත යුතුයි. නිලධාරීන්ට ඇඟිල්ල දිගු කිරීම සාධාරණ නෑ.

අපට ඖෂධ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් මදි. සෞඛ්‍ය අංශවල දත්ත පද්ධති හුවමාරු කරගන්න ක්‍රමවේදයක් හදන්න අපට තවම බැරි වුණා. ඉදිරියේදීවත් මේ ක්‍රමය ඇතිවිය යුතුයි. විශ්වාසභංගයෙන් මේ ප්‍රශ්න බේරගන්න බැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ (සජබ) :

සියයට 97ක් බෙහෙත් මිල වැඩිවෙලා පිළිකා රෝගී බෙහෙත් මිල ඉහළ ගිහින්. විකිරණ යන්ත්‍ර අලුත්වැඩියා කර නෑ.

බිලියන 11ක් විතර සැපයුම්කරුවන්ට ගෙවිය යුතුයි. හිතාමතා ගෙවන්නේ නැත්තේ එවිට ඔවුන්ට බෙහෙත් ඉල්ලන්න බැහැ. එවිට ක්‍ෂණික මිලදී ගැනීම් කළ හැකියි. වංචාදූෂණ කළ හැක්කේ එවිටයි.

පාර්ලිමේන්තුව නැවත අද (08දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන.

advertistmentadvertistment
advertistmentadvertistment