බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ට ක්‍රීඩාව එපා කරවයි  

309

පසුගියදා නිමාවට පත් වූ 17න් පහළ සහ 20න් පහළ පැසිපන්දු තරගාවලියේදී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියා කළ අයුරු පිළිබඳ ක්‍රීඩකයන්ගේ මෙන්ම දෙමාපියන්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ. එම තරගාවලියේදී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික් ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසරණ කළ බවට ඔවුන් චෝදනා කර සිටී.

මෙම තරග ඉසව් සඳහා ශ්‍රී ලංකා පැසිපන්දු විනිසුරු සංගමයේ තරග නිලධාරීන් ගෙන්වා සාමාන්‍යයෙන් සිදු වුවද බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාසල්වල ක්‍රීඩා ගුරුවරුන් විනිසුරුවරුන් ලෙස යොදා ගනිමින් වෘත්තීය විරෝධී අන්දමින් ක්‍රීඩා උත්සවය පැවැත්වීය. මෙම ක්‍රීඩා ගුරුවරුන් බොහොමයක් පැසිපන්දු ක්‍රීඩාව ක්‍රීඩා කර නොතිබූ අතර සුදුසුකම් ලත් තරඟ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ළමයින්ට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදීම කනගාටුවට කරුණකි.

තරග පැවැත්වෙන දින සියලුම ක්‍රීඩකයන් හට පෙරවරු 6.30 වන විට තරග පැවැත්වෙන ස්ථානයට වාර්තා කරන ලෙස දන්වා තිබූ නමුත් ඇතැම් පාසල්වල ඔවුන්ගේ තරග දහවල් වනතුරුත් නොපැවැත්වුණු අතර දුර බැහැර සිට පැමිණි ක්‍රීඩකයන් වරු ගණනක් නිකරුනේ පාසල් පරිශ්‍රයේ ගැවසෙන්නට සිදුවිය.

ඇතැම් ස්ථානවල තරග මධ්‍යම රාත්‍රිය දක්වා පැවතීමෙන් දරුවන් සහ දෙමාපියන් විශාල අපහසුතාවයකට පත් වූ අතර තවද මෙම තරග නැරඹීම සඳහා දෙමාපියන්ට එම ස්ථාන වෙත පැමිණීම තහනම් කර තිබුණි. ඒ අනුව එය දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා දෙමාපියන්ට පෙන්වීමට අවස්ථාවක් අහිමි කර ඇති අතර දෙමව්පියන්ට තම දරුවන් තමන් තෝරාගත් ක්‍රීඩාවේ කොතරම් දක්ෂතා දක්වනවාද යන්න දැකීමට නොහැකි විය. ඒ අනුව සමහර කණ්ඩායම් මැසිවිලි නඟන්නේ, විනිසුරු ක්‍රීඩා සඳහා අනුයුක්ත කර ඇති ක්‍රීඩා ගුරුවරු අදක්ෂ බැවින් දෙමාපියන් හිතාමතාම ස්ථානවලින් බැහැර කර ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා අප බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ධම්මිකා කුලතුංග මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද කෙසේ වෙතත්, ඇය දුරකථනයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment