බාල බෙහෙත් නඩුව: වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂගේ රිට් පෙත්සම ගැන තීන්දුව ජූලි 10දා

41

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම ඇතුළු ඖෂධ වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ දෙවන සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් නියෝගය ලබන ජූලි 10 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (04දා) දින නියම කළේය.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි සහන්ද්‍රන් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.

තමන්ව එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත කර තමා නඩු කටයුත්තෙන් මුදාහරින ලෙස පෙත්සම්කාර කපිල වික්‍රමනායක මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ සුගත් කල්දේරා, නීතිඥ ටිරාන් ඇන්කටෙල් යන මහත්වරුන් සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් සිය සේවා දායකයා පසුගිය නොවැම්බර් මස සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින් සුදුසු ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ලබන 26 වැනිදා ලිඛිත දේශන තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද විනිසුරු මඩුල්ල දෙපාර්ශවයට නියෝග කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment