අපේ මහා නායක හිමිවරුන්ගෙන් මෝදිට සංදේශයක්
බුද්ධගයාවේ පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම බෞද්ධයන් වෙත ලබාදෙන මෙන් ඉල්ලමින් මෙරට මහ නායක හිමිවරුන් සිව්නම විසින් සකස් කරන ලද විශේෂ සංදේශයක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලබාදී තිබේ.
මෙම සංදේශය භාරදීම සිදුව ඇත්තේ පසුගිය සෙනසුරාදා ඉන්දීය අගමැතිවරයා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ දී වීම විශේෂත්වයකි.
මෙම සංදේශයට මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි, අමරපුර නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමුර්ති නාහිමි, රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමි විසින් අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකාව හා බුද්ධගයාව අතර ඓතිහාසික සම්බන්ධයක් ඇති බවත් එය අශෝක අධිරාජ්‍ය සමය දක්වා දිවෙන බවත් එම ලිපියෙන් අවධාරණය කර ඇත.
ඒ කවරක් නමුත් බුද්ධගයාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම බෞද්ධයන්ට පවරා නොතිබීම බරපතළ ප්‍රශ්නයක් බව මේ ලිපිය මගින් අවධාරණය කර තිබේ. බුද්ධගයාවේ පරිපාලනය සම්පූර්ණයෙන් බෞද්ධයන්ට පැවරීමේ අවශ්‍යතාව ලොව පුරා වෙසෙන බෞද්ධයන් අවධාරණය කරන බව මෙම ලිපියේ සඳහන් කර ඇත. ලොව පුරා විවිධ ආගමික ස්ථාන පිළිබඳව ප්‍රශ්න ඇති නමුත් බුද්ධගයාවේ ගැටලුව ඉතා සාමකාමීව විසඳාගත යුතු බවත් මේ ලිපියේ සඳහන් කර තිබේ.
චතුර පමුණුව