බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම සැපතකි

160

සුඛො බුද්ධානං උප්පාදො;
සුඛා සද්ධම්මදෙසනා;
සුඛා සංඝස්ස සාමග්ගි;
සමග්ගානං තපො සුඛො;
(ධම්මපදය)

ධම්මපදයේදී අපට හමුවන මෙම පාලි ගාථාව බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා උපකාරවත් වේ. එසේනම් අප විමසිය යුත්තේ බුදුකෙනකුගේ පහළවීම සැපතක් වන්නේ කෙසේද යන්නයි. ධම්මනියාමතා සූත්‍රය දේශනා කරමින් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කළේ තමන් මේ ලෝකයට පහළ වුවත් නොවුනත් ධර්මය ලොව තුළ පවතින බවයි. බුදුපියාණන් වහන්සේ ධර්මය ලෙසින් මෙහිදී අර්ථ ගන්වන්නේ විශ්ව ශක්තිය ස්වභාවය පවතින ආකාරය යන්නයි. එය කාලය නිසා ප්‍රදේශය නිසා ජාතිය නිසා වෙනස් නොවේ. එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයයි. මෙම ත්‍රිලක්ෂණය අවබෝධ කරගත නොහැක්කේ ලෝභ, ද්වේශ, මෝහ කෙලෙස් මූලයන්ගෙන් සිත යටපත්වූ නිසාය. බුදුරජාණන්වහන්සේ තම පර්යේෂණ නිරීක්ෂණ ගවේෂණ තුළින් තහවුරු කරගත්තේ මෙම කෙලෙස් මූලයන් නැති කරන හෙවත් සදාකාලිකවම උපුටා දමන ක්‍රමවේදයයි. ලෝවාසී සියලු සතුන් අපේක්ෂා කරන සතුට ඔවුන්ට රැකගත නොහැක්කේ මෙම කෙලෙස් නිසාවෙනි. එබැවින් කෙලෙස් ප්‍රහාණය කිරීමෙන් සතුට ද නොවෙනස්වන ස්ථාවර භාවයකට පත්කරගත හැක. බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සියලු සත්වයන්ට සැප උපදවන්නේ මේ නිසාය.

චිත්‍රය -ඇම් සාර්ලිස්

මිනිසා මෙන්ම සියලු සතුන් මුළු ජීවිත කාලයේම සොයන්නේ සතුටයි. බිළිඳා මවගෙන් කිරි බොමින් සතුට සොයයි. ළමයා අධ්‍යයන කටයුතුවල යෙදෙමින් ද, විශ්වවිද්‍යාල ශිෂ්‍යා උපාධියෙන් ද, තරුණයා රැකියාවකින් ද විවාහය ගේදොර යාන වාහන මිලදී ගැනීම යන සියලු කාරණාවලින් ද බලාපොරොත්තු වන්නේ සතුටයි. වැඩිහිටියන් දරු මුණුබුරු මිණිබිරියන් දකිමින් ජීවිතයේ සන්ධ්‍යා සමය වේගයෙන් ගත කරමින් සතුට සොයයි. මේ සියලු අවස්ථාවලදී තාවකාලික සතුටක් උත්පාදනය කරයි. එහෙත් එම සතුටම අසතුටක් නිර්මාණය කරයි. මෙයට හේතුව මේ සියලු තාවකාලික සතුටුවීම් නිෂ්පාදනය වන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව පදනම් කරගෙනය. යථාර්ථය හෙවත් විශ්ව නීතියට අනුව එය එසේ සිදුවිය නොහැක. එබැවින් සතුට තහවුරු කරගැනීමේ ක්‍රමවේදය අවිද්‍යාව හා තෘෂ්ණාව බැහැර කිරීම බව අප තේරුම්ගත යුතුය. බුදුරජාණන් වහන්සේ නමක්ම පමණක් දේශනා කරන චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්නේ දුක හඳුනාගැනීම, දුක ඇතිවීමට හේතුව හඳුනාගැනීම සහ දුක නැතිකිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය අනුගමනය කිරීමයි.

දුක ඇතිවීමේ හේතුව ලෙස බුදුපියාණන් වහන්සේ දක්වන්නේ අවිද්‍යාව හා තෘෂ්ණාවයි. එසේ නම් අවිද්‍යාව හා තෘෂ්ණාව නැති කරනු පිණිස ප්‍රඥාව ලබාගත යුතුය. ප්‍රඥාව ලබාගැනීම සඳහා සතිමත් බව, සමාධිමත් බව, දියුණු කළ යුතුය.

මේ සඳහා ඇති ක්‍රමවේදය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශීල, සමාධි, පඤ්ඤා වශයෙන් කොටස් තුනකට දක්වාගත හැකිය. ශීල, සමාධි, ප්‍රඥා වැඩීමට භාවිත ක්‍රමවේදය දාන, ශීල, භාවනා වශයෙන් දැක්විය හැකිය. මෙම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් ශීලය හෙවත් මානසික නිරෝගීකම, සමාධිය හෙවත් සිතෙහි එකඟ බව, ප්‍රඥාව හෙවත් ගැඹුරින් පළල්ව වේගවත්ව සිතීමේ ශක්තිය දියුණුවේ.

ශීලය යනු කායික සහ වාචසික සංවරය ලෙස අර්ථ දැක්වුවත් ශීලයෙන් සිදුවන්නේ සැක සහ බිය දුරුකරවීමයි. සැකෙන් තොර බියෙන් තොර මනස සංසුන්ය. බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ සප්ත ආර්ය ධනයන් අතර හිරි ඔත්තපයං ධනං වශයෙන් දක්වා වදාරන්නේ ලජ්ජාව සහ බිය යනු උතුම් ධනයක් වන බවයි. ලැජ්ජාව සහ බිය යනු ප්‍රාඥයන් විසින් ගරහවට ලක්කරන, විශ්ව ධර්මතාවයන්ට පටහැනි ක්‍රියාකරම්වල යෙදීමට ඇති අකැමැත්තයි. සංසුන් මනසක් තනා ගැනීමේ දී මෙය අත්‍යවශ්‍ය ගුණාංගයක් වේ. ලැජ්ජාවෙන් බියෙන් තොර කායික වාචිසික සංවර භාවයකින් තොරව කටයුතු කරන කෙනාට ආතතිය, මානසික විඩාව වැඩිවන බව නොරහසකි. විඩාබර මනසක් ඇත්තෙකුට එකඟ සිතක් ඇති කරගැනීම අපහසුය.

බුදුරජාණන් වහන්සේ ශීල ප්‍රතිපදාව හඳුන්වා දෙමින් තම ශ්‍රාවකයන් නිරෝගී මනසක් ඇත්තන් බවට පත්කරවීම සඳහා මූලික අඩිතාලම සකසන ලදි. ශීලය සියලු සත්වයන්ගේ සතුට සහ පහසුය සඳහාය. සත්වයෝ සතුටින් සහ පහසුවෙන් නොහැසිරෙන්නේ නම් ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කරගැනීම සිදුනොවේ. ජීවිතයේ බොහෝ දෙනකුට අත්දැකීමක් ඇති සිල් ආරක්ෂා නොකිරීමෙන් මනසට වන විපත ගැන උදාහරණයක් වශයෙන් “පුහුල් හොරා කරෙන් දැනේ” යන ජන කතාව දැක්විය හැක. හොරා කරේ පුහුල් අළු නොතිබුණේය. එහෙත් ගම රාළ විසින් කවියකින් පුහුල් හොරා කරෙන් දැනේ යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ කලබලයට පත්වුණු පුද්ගලයා කර දෙස බලා කර පිසදැමීමට උත්සහ දැරීය. ඔහු එසේ කළේ කරෙහි අළු තිබීම නිසා නොව හිතේ සැකය සහ බිය නිසාය. මේ අනුව අප තහවුරු කරගත යුත්තේ සිල් බිඳෙන සෑම අවස්ථාවකදීම සැක සහ බිය සිත තුළ මතුවන බවයි. එය සතිමත් හා සමාධිමත් සිතක් නිර්මාණය කරගැනීමට අවකාශ සලසන්නේ නැත. අප සිල් සමාදන් විය යුත්තේ මෙනිසාය.

දානය යනු අත්හැරීමයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දෙවන පියවර දක්වන පරිදි සම්මා සංකප්ප කොටස් තුනකින් යුක්තයි. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප හා අවිහිංසා සංකප්ප යනුවෙනි. යමෙක් අත්හැරීම පුරුදු කරන විට අව්‍යාපාද හෙවත් නොනැසීමේ සිතිවිල්ලත්, අවිහිංසාව හෙවත් හිංසා නොකිරීමේ සිතුවිල්ලත් දියුණු විය යුතුය. එනම් කිසිදු බලාපොරොත්තුවකින් තොරව අත්හැරීම සිදුකරන විට මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව යන ගුණ ධර්ම දියුණු විය යුතුය. සංකල්ප නිවරදි කරගැනීම සති සමාධි ගොඩනඟා ගැනීමේ මූලික පදනමකි.

භාවනාව යනු චිත්ත සන්තානය තුළ මතුවන සිතුවිලි හඳුනාගෙන එහි අකුසල් සිතුවිලි ඉවත් කිරීමට වීර්ය දැරීමත් කුසල් සිතිවිලි වැඩිදියුණු කරගැනීමට උත්සහ ගැනීමත්ය. භාවනාව සතිය සහ සමාධිය දියුණු කරන මානසික ව්‍යායාමයි. මෙය සෑම අවස්ථාවකදීම උපයෝගී කරගැනීමට අපට හැකිවිය යුතුය. ඒ අනුව නිරන්තරයෙන් චිත්ත සන්තානය දෙස බලමින් එහි හට ගන්නා යහපත් අයහපත් සිතුවිලි තේරුම් ගෙන වීර්ය වැඩීමේ ක්‍රමවේදය දියුණු කිරීම සඳහා මූලික වශයෙන් ඔබගේ හුස්ම රැල්ල ක්‍රියාත්මක වන අයුරු විපරම් කිරීම අතිශය ප්‍රයෝජනවත්ය. ඒ අනුව දවසේ පැය විසිහතරෙන් පැය පහළොවක ප්‍රමාණයක්වත් අප අවදියෙන් සිටින අතර සෑම පැයකට වරක් සියයට සියයක් පෙනහලු පිරෙන්න මනාවූ සිහියෙන් හුස්ම ගැනීමත් සියයට සියයක් පෙනහලු හිස් වෙන්න හුස්ම පිටකිරීමත් අවබෝධයෙන් කරන්නට යොමුවීමෙන් නොදැනුවත්වම භාවනාව සඳහා යෙදිය හැකිය. එමෙන්ම මෙම ක්‍රියාවලිය බස්රථයේදී ද කාර්යාලයේදී ද නාන අවස්ථාවේ ද කළ හැකි බව තේරුම්ගත යුතුය.

මෙලෙස දානය, ශීලය, භාවනාව යන ප්‍රතිපදාවන් අනුගමනය කිරීමෙන් ශීලය, සමාධිය, ප්‍රඥාව යන ගුණාංග වර්ධනය කරගත හැකිය. ඒ අනුව යහපත් දැක්මකින් යුක්ත විය හැකිය. යහපත් දැක්මක් ඇත්තා මව පියා විශ්වාස කරන මාතෘත්වයට පීතෘත්වයට ගරු කරන විශ්ව ධර්මතාවයට එකඟව ජීවත්වන අයෙක් වෙයි. එමෙන්ම ඔහුගේ ආකල්ප සංකල්ප සම්පත්තිය විශ්ව ධර්මයට අනුකූලයි. කායික සංවරය, වාචසික සංවරය යහපත් දිවි පැවැත්ම මෙන්ම අප්‍රතිහත ධෛර්ය ඔහු තුළින් ගොඩනැගෙන අතර මනාවූ සිහිකල්පනාවෙන් කටයුතු කරන ගැඹුරින් සිතීමේ ශක්තිය දියුණු කරන අයෙක් බවට පත්වේ. සත්වයන්ගේ සැපත තහවුරු කරගැනීම පිණිස ප්‍රඥාව උපකාරවත් වන අයුරු මෙලෙස හඳුනාගත හැකිය. ප්‍රඥාවේ රහස සති සහ සමාධියයි. මේ සියලු ගුණාංග ගොඩනැගෙන්නේ සම්මා දිට්ඨියෙන් ඇරඹෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පිළිවෙත්වලිනි. එම පිළිවෙත් ප්‍රායෝගික තලයේ ඔබට හමුවන්නේ දාන, ශීල, භාවනා වශයෙනි. මෙම ක්‍රමවේදය චිත්ත සන්තානය පවිත්‍ර කරන කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රමවේදය වන අතර සතුට තහවුරු වන්නේ ඒ තුළිනි. බුදුරජාණන් වහන්සේගේ පහළවීම අනුස්මරණය කරන මේ වකවානුවේදී අප වඩාත් අවධානය කළ යුත්තේ උන්වහන්සේගේ ඉගැන්වීම් වෙතය. උන්වහන්සේගේ ඉගැන්වීම් අපගේ ද අත්දැකීමක් බවට පත්කරගත හැක්කේ නම් ඒකාන්තයෙන් සැනසීම අප වෙත ලැබෙනු නොඅනුමානයි.

බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම සැපතකි

ඇමෙරිකා එක්සත් ජනපදයේ භාවනා සංගමයේ උප සභාපති,
ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමි

advertistmentadvertistment
advertistmentadvertistment