මහජනතාවට හිතකර නව නීති, අණපනත් ගෙන එයි
කාලගුණික වෙනස්කම් සහ ගංවතුර තත්ත්වයක්
බුද්ධිමතුන්ට, කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට, කුඩා දරුවන්ට,
විපක්ෂ කණ්ඩායම්වලට යහපත්
සූර්යය මස වෘෂභ, රවි 26 භාගයක් වූ චන්ද්‍ර මස වෙසක් අව එකොළොස්වක තිථියලත් කිවි දින 2025.05.23 ප.ව. 1.03 ට ග්‍රහලොව බුද්ධිමතා, පණ්ඩිතයා යන අන්වර්ත නාමයන්ගෙන් හඳුන්වනු ලබන බුධ ග්‍රහයා තමාගේ මිත්‍ර රාශියක් වන සිකුරුට අයත් වෘෂභයට ගෝචර වන අතර එහි දින 14 ක කාලයක් බුධ රැඳී සිටී. මෙහිදී බුධ ග්‍රහයා රවිට අයත් කැති නැකතේ දෙවන පාදය තුළ ගමන් ගෙන තිබේ. කැති නැකත වනාහි රක්ත වර්ණ, පුල්ලිංග, අධෝමුඛ තාරකා 6කින් යුත් නැකතකි. මෙම නැකත ලබා 32 වන පැය අශුභදායක වේ.
මෙහිදී තත්කාල ලග්නය වශයෙන් සිංහ ලග්නයත්, තුලා නවාංශකයත් උදාව පවතී. එහිදී තෙවැන්නේ කේතු ද, අටවැන්නේ සඳු, සිකුරු, ශනි, රාහු ද දසවැන්නේ රවි බුධ ද, එකොළොස්වැන්නේ ගුරු ද, දොළොස්වැන්නේ කුජ ද මෙසේ ගමන් ගෙන තිබේ. එමෙන්ම දොළහ අධිපතිට අයත් සඳු හෝරාව ද, බාලවකරණය ද, ප්‍රීති යෝගය ද එදිනට පවතී. සඳු ග්‍රහයා දැඩි ලෙස පීඩා විඳීම මත කාන්තා හිංසන, ළමා අපචාර ගැන වැඩි වැඩියෙන් අසන්නට ලැබෙන දින කිහිපයකි.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 10 වැන්න අධිපති 6 වැන්න තුළ නීචව ගමන් කිරීම මත සතුරු පීඩා කරදර කුමන්ත්‍රණ පවා ඇති වීමට ඉඩ පවතින කාලයකි. තවදුරටත් මාරක අනතුරු, හද කම්පා කරවන සිදුවීම් ගැනද අසන්නට ලැබේ.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ හතර වන භාවය තුළදී බුධ ගෝචර වේ. කෘෂිකර්මාන්තයට යහපත් නැත. කෘමි උවදුරු පවා ඇති වීමට ඉඩ පවතී. මහජන ගොඩනැඟිල්ලක් ගිනිගැනීමක් හෝ කඩාවැටීමේ පුවතක් ගැන ද අසන්නට ලැබේ. කාලගුණික වෙනස්කම්, ප්‍රබල අකුණු සහිත වැසි සමහර පළාත්වලට ගංවතුර තත්ත්වයන් පවා ඇති වීමට ඉඩ තිබේ.
මහජනතාවට හිතකර නව නීති, අණපනත් ඇති වන බවක් ද පෙනේ. උසස් ප්‍රභූ කාන්තාවකගේ මරණයක් ගැන ද ඉදිරි දින කිහිපය තුළ අසන්නට ලැබේ. මෙසේ බුධ මිත්‍ර රාශියකට යෑම තුළ බුද්ධිමතුන්ට, කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට, කුඩා දරුවන්ට, විපක්ෂ කණ්ඩායම්වලට යහපත් බවක් ඇති කරයි. එසේම රට තුළ මිනීමැරුම්, මංකොල්ලකෑම් සැහැසි ක්‍රියාවල වර්ධනයක් ද දැක ගතහැක.
ඒ අනුව බුධගේ වෘෂභ රාශි ගතවීම ලග්න 12ට බලපාන ආකාරය කෙසේ දැයි බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න ඔබගේ තුන්වෙනි භාවයටත්, හයවෙනි භාවයටත් අධිපති බුධ දෙවෙනි භාවයට ගෝචර වේ. වියදම් අධික වන දින කිහිපයකි. උදරගත අසනීප තත්ත්ව ඇතිවීමට ඉඩ පවතී.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න ඔබගේ 5 අධිපති වෙමින් ලග්නගතව බුධ ගෝචර වේ. කෙලින් තීන්දු තීරණ ගන්නා දින කිහිපයකි. ලග්නාධිපති අයස්ථානගත වීම මත ලැබීම් අතින් ඉතා යහපත් වේ.
මිථුන ලග්නය
මිථුන ලග්න ඔබගේ ලග්නාධිපති වෙමින් දොළොස්වෙනිභාවය තුළ බුධ ගෝචර වේ. ඔබට පපුව, පෙණහලු ආශ්‍රිත අසනීප තත්ත්ව ඇති වීමට පිළිවන. යම් යම් අසනීප හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට පවා සිදු වන දින කිහිපයකි.
කටක ලග්නය
කටක ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ බුධ අයස්ථාන ගතව ගෝචර වේ. ලැබීම් අතින් යහපත් වේ. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගතහැක. බාල සහෝදරයන්ගෙන් උදව් හිමි විය හැකි දින කිහිපයකි.
සිංහ ලග්නය
සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්න අධිපති සමග බුධ සංයෝගව දහවැන්න තුළ ගෝචර වේ. රැකියාවේ උසස්වීම්, ඉහළ තනතුරු, නම්බුනාම පවා හිමි විය හැකි දින කිහිපයකි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් භාග්‍යස්ථානගතව බුධ ගෝචර වේ. ඔබට පෙර කුසලකර්ම විපාක ලැබෙන කාලයකි. ලැබීම් අතින් ඉතා යහපත්ය.
තුලා ලග්නය
තුලා ලග්න ඔබගේ කේන්ද්‍රයේ නවය අධිපති වෙමින් බුධ අටවෙනි භාවය තුළ ගෝචර වේ. වටිනා කියන භාණ්ඩයක් ඔබගේ අතින් නැතිවීමක් හෝ අස්ථානගතවීමක් පෙන්නුම් කරන දින කිහිපයකි. මුත්‍රා වකුගඩු ආශ්‍රිත අසනීප තත්ත්ව ඇති වීමට ඉඩ පවතී.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න ඔබගේ අට අධිපති වෙමින් හත්වෙනි භාවය තුළ බුධ ගෝචර වේ. හවුල් ව්‍යාපාරවලින් ඔබට පාඩු, අවාසි ඇති විය හැක. ඉවසීම අඩු කෙරේ.
ධනු ලග්නය
ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ හත අධිපති මෙන්ම බාධක ග්‍රහයා වෙමින් හයවෙනි භාවය තුළ බුධ ගෝචර වේ. ඒ අනුව ජුනි 07 වැනිදා තෙක් කරන කියන කටයුතුවලට සතුරු පීඩා කරදර ඒමට පිළිවන.
මකර ලග්නය
මකර ලග්න ඔබගේ කේන්ද්‍රයේ භාග්‍යස්ථානාධිපති වෙමින් පස්වෙනි භාවය තුළ බුධ ගෝචර වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට යහපත්ය.
කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ පහ අධිපති වෙමින් හතරවෙනි භාවය තුළ බුධ ගෝචර වේ. ඔබට භූමියෙන් යම් යම් ලැබීම් සහිත දින කිහිපයකි. එමෙන්ම වතුපිටි, ඉඩකඩම් මිලදී ගැනීමට පවා ඉඩ පවතින දින කිහිපයකි.
මීන ලග්නය
මීන ලග්න ඔබගේ හත අධිපති මෙන්ම බාධක ග්‍රහයා ද fවිමින් තුන්වෙනි භාවය තුළ බුධ ගෝචර වේ. බාල සහෝදරයන්ගෙන් යම් යම් උදව් හිමි විය හැකි දින කිහිපයකි. උදරගත අසනීප තත්ත්ව ඇති වීමට ඉඩ පවතී.
(මෙය පොදු පලාපල විස්තරයක් බැවින් ඔබ ගත කරන දසාව අතුරු දසාව බලා නිවැරදි තක්සේරුවකට එන්න.)
සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658