බෞද්ධයාට වෙසක් පොහොය සුවිශේෂී වන්නේ ඇයි?

24

සදහම් සුවඳ ලෝ තලය පුරා පැතිරී යන උතුම් වෙසක් පුන් පොහොය දිනය බෞද්ධ ජනයා උත්සවශ්‍රීයෙන් සමරනු ලබන්නකි. වෙසක් මාසය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් කුසල් දහම් රැස්කරන්නට සුදුසුම කාලවකවානුව ලෙස බෞද්ධයෝ හඳුන්වති. වසර පුරා එළැඹෙන පොහෝ දින දොළසක් අතරින් ඔවුනට වෙසක් පුන් පොහොය දිනය මෙතරම් සුවිශේෂී වන්නේ කුමක් නිසා දැයි හඳුනාගැනීම වඩාත් වැදගත් වේ. වෙසක් පොහෝ දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවට සුවිශේෂී පොහොය දිනයක් වීමට හේතු වන, එදින සිදුවූ වැදගත් සිදුවීම් රැසක් හඳුනාගත හැක.

අප මහා තිලෝගුරු සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදු වූයේ පින්බර වෙසක් පුන් පොහොය දිනයකදී ය. පස් මහා බැලුම් බලා කිඹුල්වත් නුවර සුද්ධෝදන මහ රජුගේ බිසව වන මහාමායා දේවියගේ කුස පිළිසිඳගත් අප මහා බෝසතාණෝ කිඹුල්වත්පුරත් කපිලවස්තුපුරත් අතර වූ ලුම්බිණි සාල වනෝද්‍යානයේදී මෙලොවට බිහි වූහ. ඉන් අනතුරුව දෙව් බඹුන්ගේ සාධුකාර මැද සත්පියුම් මත පා තබා තමන් ලොව අග්‍රතම ශ්‍රේෂ්ඨතම පුද්ගලයා බවත් මේ උන්වහන්සේගේ අවසන් උප්පත්තිය වන බවත් ප්‍රකාශ කරනු ලැබුවේ ද වෙසක් පුන් පොහොය දිනයකදී ය.

එතැන් පටන් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරනු ලැබූ සිද්ධාර්ථ කුමරු වසර විසි නවයක් වනතුරුම රාජ සුඛ විහරණය අත්වින්දේය. උයන් කෙළියට යන අතරමඟදී දුටු මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, පැවිදි රුවක් යන සතර පෙරනිමිති දැකීමෙන් අනතුරුව ලෝකයේ සැබෑ තතු වටහා ගත් සිදුහත් කුමරු මහාභිනික්මන් කොට ආලාරකාලාම, උද්දකරාමපුත්ත යන ගුරුවරුන් අබියස පිළිවෙත් පුරා තමන් සොයන සත්‍යය ඔවුන් ළඟ නොමැති බව වටහා ගත්තේය. ඉන් අනතුරුව කිං කුසල ගවේශීව, කිං සත්‍ය ගවේශීව සත්‍ය කුමක්දැයි සොයා ගිය බෝසතාණන් වහන්සේ අත්ථකිලමතානුයෝගයත්, කාමසුඛල්ලිකානු යෝගයත් අතර වූ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් වසර තිස්පහක් සම්පූර්ණ වන වෙසක් පොහොය දිනයේ දී දසමරුන් පරදා උතුම් වූ සම්මා සම්බුදු පදවිය ලැබූ සේක.

බුදුපියාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු පන්සාළිස් වසක් පුරාවට පතළ මහා කරුණාවෙන් ලෝ සතුන්ට ධර්මාවබෝධයට මඟපෙන්වූ සේක. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ධර්මය හා විනයෙහි කෙළ පැමිණි පසු අසූවන වියේදී ආයුසංස්කාරය අත්හළ ත්‍රෛලෝකනාථයාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සාල වනෝද්‍යානයේදී මුළු මහත් ලෝකයක් හඩවමින් උතුම් වූ සම්බුද්ධ පරිනිර්වාණයට පත් වූ සේක.

සිද්ධාර්ථ කුමරුගේ උප්පත්තිය, සිදුහත් බෝසතුන්ගේ බුද්ධත්වය හා තිලෝගුරු බුදුරදුන්ගේ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් තෙමඟුල හේතුවෙන් බෞද්ධයාට වෙසක් පුන් පොහොය දිනය වඩාත් සුවිශේෂී වේ. මීට අමතරව වෙසක් පුන් පොහොය දිනය බෞද්ධයාට වැදගත්වීමට තවත් හේතු කාරණා ගණනාවක් පවතී.

සුමේධ තාපසයාණන් වහන්සේ දීපංකර බුදුන් අබියස නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහෝ දිනකදීය. අපගේ ගෞතම බුදුරදුන් දීපංකර බුදුන් දවස සුමේධ නමින් උප්පත්තිය ලැබූ සේක. සුමේධ නම් ධනවත් තරුණයාට සිය මවුපියන්ගේ මරණයෙන් අනතුරුව උරුම වූ ධන සම්පත්වලින්, සදාකාලික සුඛ විහරණයක් අත්නොවන බව වටහාගත් සුමේධ තරුණයා සියලු ධනය දිළින්දන්ට පවරා දී වනගත වූයේය. වනගතව භාවනායෝගී පිළිවෙතක් අනුගමනය කළේය. භාවනාව තුළින් ඍද්ධියට පත්ව සිටි උන්වහන්සේ දිනක් අහසින් වැඩම කරමින් සිටින අතරතුරදී මග සකස් කරමින් සිටින මිනිසුන් පිරිසක් දුටු සේක. ඒ කුමක් නිසාදැයි යන්න සොයා බැලූ සුමේධ තාපසතුමන්ට දැනගන්නට ලැබුණේ තව සුළු මොහොතකින් දනට වඩින දීපංකර බුදුරදුන් වෙනුවෙන් ඔවුන් මඟ සකස් කරන බවයි. තමාටත් මාර්ගයෙහි එක් කොටසක් ලබාදෙන ලෙස තාපසතුමන් කළ ඉල්ලීමට අනුව වළවල් සහිත බිම් කොටසක් එතුමන්ට පිළිසකර කරන්නට වෙන් විය. බුදුන්වහන්සේ වැඩමවන විටත් එක් වළක් පිළිසකර කර ගැනීමට නොහැකි වූ නිසාවෙන් තාපසතුමා ඒ වළ මත දිගා වී තම සිරුර මතින් දනට වැඩමවන ලෙස දීපංකර බුදුරදුන්ට ආරාධනා කළේය. බෝධිසත්ත්වයාණන් වහන්සේට වීර්ය පාරමිතාව සම්පූර්ණ කිරීමට උපකාරී වීම උදෙසා සිරුර මතින් වැඩි දීපංකර බුදුන් වහන්සේ සමන් මල් අටකින් සුමේධ තවුසන් පුදා “මේ පුරුෂයා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු ගෞතම නම් බුදුවන්නේය” යනුවෙන් නියත විවරණ ලබා දුන් සේක. මේ සුවිශේෂී සිදුවීම සිදුවූයේ ද වෙසක් පුන් පොහොය දිනයකදීය.

උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පැමිණි තිලෝගුරු බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මසකට පසුව තමන් වහන්සේ උපන් කිඹුල්වත් නම් පුණ්‍ය භූමියට වැඩි සේක. එහිදී තම පෙළපතේ ගෞරවයෙන් අතිමානයට පත්ව සිටි ශාක්‍යයන්ගේ මාන්නාධික බව දුරුකරලීම උදෙසා බුදු හිමියන් සිරුරේ එක් පසෙකින් ජල කදම්බයක් ද තවත් පසෙකින් ගිනි ජාලාවක් ද විහිදුවමින් යමා මහ පෙළහර පානු ලැබුවේ ද වෙසක් පොහොය දිනයකදී වීම සුවිශේෂත්වයකි.

පනස් වන වියට එළැඹි බුදුරදුන් තමන් වහන්සේ වයෝවෘද්ධ බව දැන නිත්‍ය උපස්ථාදායකයකු තෝරා ගැනීමට කටයුතු කළ සේක. ඒ සඳහා පාරමිතා දම් පිරූ ආනන්ද හිමියන් නිත්‍ය උපස්ථාදායක තනතුර සඳහා තේරී පත්විය. එතැන් පටන් බුදුරදුන්ගේ සෙවණැල්ල මෙන් උන්වහන්සේ අසලින්ම රැඳෙමින් බුදු හිමියන්ට උණු පැන් අවැසි වූ කල උණු පැන් ද, සිසිල් පැන් අවැසි වූ කල සිසිල්පැන් ද සකසා දෙමින් මහා රාත්‍රියෙහි පවා බුදුරදුන්ගේ ගඳකිළිය වටා සක්මන් කරමින් උන්වහන්සේට ආරක්‍ෂාව සපයමින් බුද්ධ පරිනිර්වාණය තෙක්ම, අනඳ හිමි සිය තනතුරේ වගකීම නොපිරිහෙළා ඉටු කළේය. අනඳ හිමියන් තුළ බුදුරදුන් කෙරෙහි තිබූ අසීමිත ස්නේහය නිසාවෙන්ම සම්බුද්ධ පරිනිර්වාණය තෙක්ම උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට උන්වහන්සේට නොහැකි විය. නමුත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාවට පෙර දිනයේදී උත්තරීතර අරහත්වයට පත් අනඳ තෙරුන් වහන්සේ ප්‍රථම ධර්ම සංගීතියේදී ධර්ම භාණ්ඩාගාරික ලෙස එම තනතුරේ වගකීම ද නොපිරිහෙළා ඉටු කළ සේක. අදටත් අප බුදුරදුන් දෙසූ ධර්මය ශ්‍රවණය කරනුයේ උන්වහන්සේ ඉටු කළ අනගි සේවාවේ ප්‍රතිඵලයක් ලෙසය. මෙලෙස සම්බුදු සසුන හා බුදුරදුන් වෙනුවෙන් අසීමිත සේවාවක් කළ ආනන්ද තෙරුන් වහන්සේ එකසිය විසි වසක් ආයු වළඳා රෝහිණී නදිය මැද පළක් බැඳ ධර්මය දේශනා කර, සිව් ඉරියව්වෙන් තොරව ම උත්තරීතර පරිනිර්වාණයට පත් වූ සේක. මෙම සිදුවීම ද වෙසක් පොහෝ දින සිදු වූ වැදගත් සිදුවීමකි.

දඹදිව් තලයේ පහළ වූ සම්බුදුරදුන්ගේ පා පහස කිහිප වරකදීම ශ්‍රී ලංකාද්වීපයට ලැබී ඇත. ඒ අනුව බුදුරදුන් තෙවන වරට ලංකාගමනය සිදු කරනුයේ වෙසක් පොහොය දිනයකදී වීම විශේෂත්වයකි. මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩමවූ බුදු හිමි චූලෝදර මහෝදර යන සහෝදරයන් දෙදෙනා ඇතුළු පිරිසට ධර්මය දේශනා කරනු ලැබුවේත් තෙවන ලංකාගමනයේදී ය. එදිනම සුමන සමන් දෙව් රජුගේ ආරාධනයෙන් සමනල කඳු මුදුනට වැඩි බුදු හිමියන් එහි දිවා විහරණය සිදු කළ අතර සම්බුද්ධ පා සටහන් පිහිටුවමින් සමනල සිරස උතුම් පුණ්‍ය භූමියක් බවට පත් කරනු ලැබුවේ ද වෙසක් පුන් පොහොය දිනයකදී ය.

විජය රජුගේ ලංකාගමනය සිදු වනුයේ ද වෙසක් පුන් පොහොය දිනයකදී ය. බුදුරදුන් සම්බුද්ධ පරිනිර්වාණය කළ වෙසක් පොහෝ දිනයේදීම මෙම උත්තරීතර සිදුවීම සිදුවී ඇත. සිංහල ජන වංශයේ ආදීතම පුරුෂයා ලෙස ලාට රට සිංහබාහු රජුගේ දෙටු පුතු විජය කුමරු හඳුන්වා දිය හැක. දඹදිව් තලයෙන් පිටුවහල් කරන ලද විජය කුමරු ඇතුළු හත්සීයක් වූ පිරිස ශ්‍රී ලංකාද්වීපයේ තම්බපන්ණියට ගොඩබසින ලද්දේ වෙසක් පොහොය දිනයකදී වීම සුවිශේෂත්වයකි. ඒ මොහොතේ පරිනිර්වාණ මංචකයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ සක්දෙව් රජුන් අමතා පන්දහසක් කල් සම්බුදු දහම සුරක්ෂිතව පවතින එකම දීපය ශ්‍රී ලංකාද්වීපය වන බවත් සිංහල ජාතිය ආරක්ෂා කළ යුතු බවත් වදාරන ලැබුවේ ද වෙසක් පොහොය දිනයකදී බව සඳහන් වේ.

සම්බුදු සසුන ලංකාද්වීපය තුළ ස්ථාපිත කළ රජු ලෙස දෙවනපෑතිස් රජු හඳුන්වා දිය හැක. මිහිඳු මහ රහතන් වහන්සේ ලක් දෙරණට වැඩමවන විට මෙරට රජකම් කළ දේවානම්පියතිස්ස රජු දඹදිව රජ කළ ධර්මාශෝක රජුගේ නොදුටු මිතුරෙකි. එම මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට දහම් දිවයිනක් බවට පත්විය. එම මහඟු වූ කර්තව්‍යය මෙරට සිදු කිරීමට සහාය දැක්වූ දෙවනපෑතිස් රජු ධර්මාශෝක අධිරාජයා විසින් එවන ලද සිංහාසනය, කඩුව, ඔටුන්න, හක්ගෙඩිය, මිරිවැඩිසඟළ යන පංච කකුධ භාණ්ඩ සහිතව දෙවන වරටත් රාජාභිෂේකයට පත් වූයේ වෙසක් පුන් පොහොය දිනයකදී ය.

ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් කර ඉදිකරනු ලැබූ අනුරපුර පිංබිමේ සුදෝ සුදුවන් පැහැයෙන් බබළන දසදහසක් දෙව් මිනිසුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු දුටුගැමුණු මහ රජතුමා විසින් අරඹන ලද්දේත් වෙසක් පුන් පොහොය දිනයකදී බව සඳහන් වේ. එබැවින් ලක්වාසී බෞද්ධ ජනයාට වෙසක් පොහෝ දිනය තවත් සුවිශේෂී වී ඇත.

මෙම ප්‍රධාන සිදුවීම්වලට අමතරව වෙසක් පොහෝ දින සිදු වූ අවශේෂ සිදුවීම් ද රැසක් පවතී. මහා විහාර වංශික භික්‍ෂූන් වහන්සේලා වසරකට වරක් සිදු කරනු ලබන උපසම්පදා මහෝත්සවය පවත්වනු ලබන්නේ වෙසක් පොහොය දිනයේදීය. එලෙසම අතීත සිංහල රජවරු සිය රාජාභිෂේකයන් සිදු කරන ලද්දේ ද පින්බර වෙසක් පොහෝ දිනයකදී බව සඳහන් වෙයි. තව ද සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් සතර පෙරනිමිති අතරින් ව්‍යාධි රූපය දැක තිබෙන්නේ ද වෙසක් පොහොය දිනයකදී ය.

මේ ආදී වූ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ වෙසක් පුන් පොහොය දිනය සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට වඩාත් සුවිශේෂී පොහොය දිනයක් වේ. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින් සිය භව ගමන නිමා කර ගැනීම උදෙසා ධර්මානුකූල දිවිපෙවතක් ගතකරමින් උත්තරීතර කුසල් දහම් රැස්කරන්නට අවැසි වීර්ය උපදවා ගැනීමට මේ පින්බර වෙසක් පුන් පොහොය දිනයේදී සියලු බෞද්ධයන් අදිටන් කර ගත යුතුය.

අමින්ද්‍යා ගුණවර්ධන
කැලණිය විශ්වවිද්‍යාලය


advertistmentadvertistment