ප්‍රවීණ පාරිසරික ඡායාරූප ශිල්පී සහ පරිසරවේදී – දිනුෂ නානායක්කාර
“මුතුරාජවෙල නම් අද්විතීය තෙත් බිමේ වෙන්දේසි වීමට තිබුණු හෙක්ටයාර් 1200 ක් බේරාගන්නට, එසේ බේරාගන්නා සටනට නායකත්වය දීමට මට හැකි වුණේ මම පරිසරය වෙනුවෙන් වැඩකරන ඡායාරූප ශිල්පියෙක් වූ නිසා. මුතුරාජවෙල විනාශය සාක්ෂි සහිතව ඔප්පු කරලා රටට, ලෝකයට මම පෙන්නුවේ මගේ කැමරා උපකරණ වලින්. මේ මගේ අතේ තියන ඩ්‍රෝන් යන්ත්‍රය නිසා තමයි ඇත්තටම ඒ වික්‍රමය කරන්න මට වැඩි වශයෙන් පුළුවන් වුණේ. මොකද මේ ඩ්‍රෝන් මිත්‍රයා නෑ…නෑ කිව්ව ඒ හොර තිප්පළ හොයාගෙන ගියා. හැමදාම හොයාගෙන ගියා. ඒ නිසා මේක ඉතිහාසගතවන කැමරාවක්. ඉතිහාසගතවන ඩ්‍රෝන් යානයක්” යැයි ප්‍රකට පරිසරවේදියකු, වනජීවී හා මංගල ඡායාරූප ශිල්පියකු මෙන්ම පාරිසරික ගවේෂකයකු ද වන දිනූෂ නානායක්කාර මහතා අපට පැවසුවේ තම ඩ්‍රෝන් යානාව එක අතකින් ගෙන අනෙක් අතින් එයින් ගත් මුතුරාජවෙල වීඩියෝ දර්ශන දෙසට අපගේ දෙනුවන් යොමු කරමිනි.
සැබැවින්ම එක්තරා ව්‍යාපාරික කණ්ඩායමක් විසින් කොළඹ ප්‍රධාන ආර්ථික මර්මස්ථානය ලෙස සැලකිය හැකි කටුනායක ගුවන් තොටුපළ හා පෝර්ට් සිටි අතර පිහිටි මුතුරාජවෙල තෙත් බිම් අභයභූමියේ ඉඩම් අනීතිකව ගොඩකර තම පෞද්ගලික අභිමතාර්ථයක් වශයෙන් මුදල් උපයාගැනීමේ කූට ක්‍රියාවක නියැළී සිටිද්දී ඊට එරෙහිව අභීතව තම හඬ අවදි කරමින් මුතුරාජවෙල රැකගන්නට පෙරමග ගනු ලැබුවේ දිනූෂ නානායක්කාර නම් පරිසරවේදියාම ය.
එබැවින් “දිවයින – හරිත” Wildlife-eye විශේෂාංගය තුළින් අද අපි දිනූෂ හමුවන්නට ඔහුගේම පෞද්ගලික වනාන්තරය තුළ පිහිටි බෝපිටිය – පමුණුගම තෙත්බිමේ ඒ අපූරු නිසංසල පරිසරයට ගොඩවැදුනෙමු. මෙම පරිසරය තුළ ජීවත් වනුයේ දිනූෂ හා නිවසේ අය පමණක් නොවේ, සුවිශාල වගුරු වනාන්තරයක නිදහසේ වැඩෙන කඩොලාන හා අනෙකුත් ගස්කොලන්, කුරුල්ලන්, දැවැන්ත කිඹුලන් හා දිය-ගොඩ වාසී නොයෙකුත් සතුන් සමඟ දිනුෂ නිදහසේ ජීවත් වන ආකාරය විටෙක දුටුවන් මවිතයට පත් කරනු ඇත. දිනූෂ හමුවන්නට අප මේ ගමන ගියේ තවත් ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පියකු වන රොහාන් ෆොන්සේකා සමගය.
දිනූෂ වෘත්තියෙන් මංගල ඡායාරූප ශිල්පියෙකි. ඔහු Nikon Studio නමින් තමන්ගේම ඡායාරූපකරණය හා වීඩියෝකරණ ව්‍යාපාරයක් ජා-ඇල නගරයේ පවත්වාගෙන යයි. එසේම ඔහු විනෝදාංශයක් ලෙස පාරිසරික වනජීවී ඡායාරූපකරණයද සිදුකරයි. මේ නිසාම ඔහු ඇතැම් ඡායාරූප හා කලා සංගම් රැසකම නායකත්වය හා සාමාජිකත්වය දරන අතර, තවමත් කඩවසම් තරුණයකු වන දිනූෂ ඡායාරූප ශිල්පීන් හා පරිසරවේදීන් අතර ප්‍රකට චරිතයකි. හේ කොතෙක් පාරිසරික ක්‍රියාකාරකම්වලදී පෙරමුණ ගෙන ඇත්තේද යත්, මුතුරාජවෙල තෙත්බිම ඉඩම් කොල්ලකාරයන්ගෙන් බේරාගන්නට කටයුතු කළා පමණක් නොව, වත්තල, පමුණුගම, ජා-ඇළ, මීගමුව ප්‍රදේශයට තදින් පාරිසරික දූෂණයක් ඇති කළ X-Press Pearl නෞකාව ගිනි ගෙන ගිලී යෑමෙන් ඇතිවුණු පාරිසරික විනාශයෙන් බැට කන ජනතාව වෙනුවෙන් හා එම හානියට පත්ව ඇති පරිසරය සුරැකීම සඳහාද පෙරමුණ ගෙන, විරෝධතා ව්‍යාපාරවල ද මුල් තැන ගෙන කටයුතු කළ ප්‍රධාන චරිතයකි.
එබැවින් දිනූෂ යනු නිකම්ම නිකං ඡායාරූප ශිල්පියකු නොවන බව අප කිව යුතුය. ඔහුගේ සුරතේ රැඳී ඒ කැමරා ආම්පන්න මේ රටේ පරිසරය, සතා සිවුපාවා සුවපත් කරන ලද ආම්පන්න බවද පැවසිය යුතුව තිබේ.
“මගේ ගම බෝපිටිය-පමුණුගම. මම අධ්‍යාපනය ලැබුවෙ පළමුව ඌව වෙල්ලස්සේ ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඒක ඒ කාලෙ ඈත පිටිසර ප්‍රදේශයක්. දෙවනුව කඳාන” ද මැසිනොද්” විද්‍යාලයෙන්. මගේ තාත්තා රජයේ තානායම් පාලකවරයෙක්. අම්මා ගෘහනියක්. පවුලේ මමයි, නංගියි විතරයි. ඇය සිය පවුලේ උදවියත් සමග මේ වන විට එංගලන්තයේ ඉතා යහපත් ජීවිතයක් ගත කරනවා. කියන්න කනගාටුයි. මගේ ඥාති සොයුරියයි, එයාගේ දරුවයි පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වෙලා මිය ගියා. තාත්තා තානායම් පාලකවරයෙක් වූ නිසා අපට රටේ නොයෙක් තැන්වලට දිගු කාලවලට යන්න සිද්ධ වුණා. මේ අතරින් මඩකලපුව, කොස්ලන්ද, ලුණුගල, මහව, කල්පිටිය, පඬුවස්නුවර වගේ ප්‍රදේශවල වැඩි කාලයක් අපට ඉන්න වුණා. ඒ නිසා මගේ පාසල් අධ්‍යාපනයත් විටින් විට වෙනස් වුණා. ඒ කොහොම වුණත් තාත්තාගේ ආභාෂය මැද අපි පොඩි කාලයේ ඉඳම්ම පරිසරයට ඇලුම් කළා. මොකද මගේ තාත්තා හරිම සුන්දර මනුස්සයෙක්. දැන් අවුරුදු 73 ඉක්මවලා හිටියත්, අදත් ජෝගින් ගිහිල්ලා සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඇත්තටම ඔහු තමයි මගේ වීරයා. ඔහු තමයි මාව අද මේ ඉන්න තැනට ගෙනාවේ. මගේ මව මීට වසරකට පමණ මත්තෙන් මිය ගියා. එයා රෝගාතුර වෙලා අවුරුදු දාහතක් පමණ හිටියා. අපි එයාට උපරිමයෙන් සැලකුවා. අන්තිම සති කිහිපය පමණයි ඇය ඇඳක සිටියේ. ඇයට උපරිමයෙන් සැලකීමට හැකිවීම දරුවෙකු විදිහට මම ලැබුව වාසනාවක්. ඇය අවසන් ගමන් යෑමට පැය කිහිපයකට මත්තෙන් මා තුරුළු කරගනිමින් ඇය මට කියා සිටියේ ඇයගේ ලෝකයේ වීරයා මා කියල. ඇය අද නොසිටියත් ඇය ගේ පිහිට අදත් මේ දැනුත්, මම නිරන්තරයෙන් අත්දකිනවා.
අවුරුදු 10-12 ඉඳම්ම මම පාපැදි පදින්න ආසයි. ටික කලකින් මට හොඳ බයිසිකල් ගෘප් එකක් හිටියා. පාසල් යන කාලෙමයි මේ. අපේ කණ්ඩායමේ පළවෙනි බයිසිකල් පැදීම අපි කළේ බෝපිටියේ ඉඳන් පඬුවස්නුවරට. ඊට පස්සෙ 1995 විතර කොළඹ ඉඳන් අම්පාරට පැද්දා. 2002 සටන් විරාම කාලෙදි දින 6 ක චාරිකාවක් හැටියට කොළඹ ඉඳන් යාපනේට පැද්දා. ඒක අමතක නොවන ටුවර් එකක්. හමුදා කඳවුරු අතරින්, එල් ටී ටී ඊ කඳවුරු අතරින් ගමන් ගත්ත චාරිකාවක් ඒක. මේ ගමනේදී අපි කණ්ඩායමට බයිසිකල් ගමන නවත්වල එයාලගෙ නියෝගය අනුව එල් ටී ටී ඊ කඳවුරුවලට යන්න වුණා. නමුත් කෑම බීම දීල එයාල අපට සංග්‍රහ කළා. හමුදාවේ අයත් කෑම, බීම දීල අපට සංග්‍රහ කළා. රතු කුරුස හමුදාව අපිට උදව් කළා. ජීවිතයේ පුදුම අත්දැකීම් මේවා. ඒ වගේ ගමන් රාශියක් මම කළා. 2008 පමණ වන විට මුළු ලංකාවේම දිස්ත්‍රික්ක 25 ක් පුරා මා පාපැදියෙන් සංචාරය කොට හමාර කළා. එවන් ගමන් වලදී කුඹුරු, කඳු, හෙල්, වැව්, පොකුණු, දිය ඇලි, කැලෑ, වන සතුන් අපි දැක්කා. මේවා අත්වින්දා. මේවා තමයි ඇත්තටම මාව පරිසරලෝලියකු කළේ. පාරිසරික ඡායාරූප ශිල්පියකු කළේ.” දිනූෂ පවසයි.
මම ඡායාරූපකරණයටත් තරුණ කාලේ ඉඳලම හරිම කැමතියි. මට මතකයි මම ඉස්සරලාම කැමරාවක් ගන්න තාත්තාගෙන් සල්ලි ඉල්ලුවා. තාත්තා කිව්වෙ කැමරාවක් අරන් දෙන්නම් හැබැයි ඒකට යන සල්ලි මට ආපහු ටික ටික ගෙවන්න ඕන කියල. එහෙම කියල Nikon 505 රීල් කැමරාවක් අරන් දුන්නා, ගාන රුපියල් 35,000 යි. තාත්තා කැමරාවට ගිය මුදල විටින් විට මතක් කරමින් මගෙන් සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. බේරෙන්න බැරි තැන මම යාළුවන්ට කිව්වා birthday පාටියක් හරි කමක් නෑ තියෙනවනම් මට සෙට් කරලා දෙන්න කියලා. මට ඕන වුණේ තාත්තාගේ කරදරෙන් බේරෙන්න. මම තාත්තාට ටික ටික ගෙවන්න පටන් ගත්තා. තාත්තා ගෙවන හැම වාරයකදීම ගෙවන මුදල අඩු කරල ඉතිරි මුදල මට මතක් කළා. මේ අතර මට ඉස්සරහට වෙඩින් තුන හතරක් බුක් වෙලා.
නමුත් මට තියෙන්නෙ කැමරාව විතරයි. වෙඩින්වලට තව බඩු ඕනේ. තාත්තට ආපහු මම කීවා ගෙවන්න මට තව රුපියල් පනස් දාහක් විතර දෙන්න කියලා. තාත්තා මට හැත්තෑ පන්දහසක් පමණ ගෙනත් දීලා කිව්වා මට ඕන වුණේ ඔයාව ට්‍රැක් එකට ගන්න මිස මගේ සල්ලි ගන්න නෙමෙයි. මෙන්න ඔයා මට ගෙවපු සල්ලි සහ ඔයා ඉල්ලපු සල්ලි. දැන් ගමන යන්න කියල සල්ලි දුන්න මට. ඔහොම තමයි මගේ ඡායාරූප ශිල්ප ජීවිතය ආරම්භ වුණේ. ඒ තාත්තා මට ජීවිතයේ බර දුන්න නිසා. කියන්න ඕන මම ඡායාරූපකරණය මුලින්ම ඉගෙන ගත්තේ ලාල් හෑගොඩ සර් ගෙන්. ඒ සුන්දර ගමන තුළ මා ගොඩක් දේවල් උපයලා තියෙනවා.
මේකත් කියන්නේ ලොකු ගරුත්වයකින්. පළවෙනි වෙඩින් චාන්ස් එක අරන් දුන්නේ මේ ඉන්න රොහාන් ෆොන්සේකා අයියා. “දිනූෂ මඳ සිනහවක් දල්වාගෙන රොහාන් අයියාට ඇගිල්ල දිගුකරයි. ” මේත් මගේ එක ගුරුවරයෙක්.” ඔහු අතීතය අවදි කරවයි. දිනූෂට පළමු වෙඩින් ඡායාරූපය ගන්නට එදා ළඟ සිටි රොහාන් අය්යා අද මා සමග දිනූෂ කරන සම්මුඛ සාකච්ඡාවේදී දිනූෂගේ ඡායාරූප සියල්ල ගනිමින් සිටී.
පිළිසඳර – ජගත් කණහැරආරච්චි
දිනූෂගේ ඡායාරූප –
රොහාන් ෆොන්සේකා