මට දැනෙන දේ ප්‍රකාශ කරන්න නාට්‍ය අධ්‍යක්ෂණය කරනවා – සරත් කොතලාවල

206

50 වැනි වරටත් බොරැල්ලේ දී නරි බුරති

සරත් කොතලාවල විසින් රචනා කොට, අධ්‍යක්ෂණය කරන ලද අතිශයින්ම විනෝදාත්මක නිර්මාණයක් වන “නරි බුරති 2”වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන වාර දෙකක් මෙම මස 15 වැනිදා (ඉරිදා) පස්වරු 3.30 ට සහ 6.45ට වායුසමණය කළ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී වේදිකාගත කිරීමට නියමිතය. “නරි බුරති 2” වේදිකා නාට්‍ය පිළිබඳව වැඩිදුර තොරතුරු සරත් කොතලාවල දිවයින සිනමා කලා වෙත අපට කියා සිටියේ මෙසේය.

“නරි බුරති 2” වේදිකා නාට්‍යයේ තිර රචක මෙන්ම අධ්‍යක්ෂවරයා ලෙස නාට්‍ය පිළිබඳව විග්‍රහයක් කළොත්?

මේ නාට්‍යයේ ආකෘතිමය වශයෙන් තියෙන්නේ, “නරි බුරති” නාට්‍යයේ තිබුණු බල්ලෙක් සහ මනුස්සයෙක් කියන ඒ චරිත දෙක වෙනත් නගරයකට යෑම. ඒ යන නගරය බල්ලන්ගේ නගරයක්. ඒ බල්ලන්ගේ නගරයට ගියා ම අහම්බෙන් මහ ඇමැතිකමට පත්වෙනවා ආගන්තුක බල්ලා. ඒකත් එක්ක ඇති වන දේශපාලනික, ආර්ථික, සමාජ ක්‍රියාකාරකම් ටිකක් තමයි නාට්‍යයේ දිගහැරෙන්නේ. අපි දේශපාලනයට ජාතියක් වශයෙන් කොච්චර අහුවෙලා ද තියෙන්නේ කියන දේ පිළිබඳවත් මෙයින් විග්‍රහ කරනවා. ඒ වගේම මෙම නාට්‍ය හාස්‍යෝත්පාදක සහ සීරියස් දෙබස්වලින් වගේම නැටුම්, ගැයුම් ආදි මේ සියල්ලන්ගෙන්ම සංකලනය වෙච්ච නිර්මාණයක් විදියට හඳුන්වන්නත් පුළුවන්.

එළැඹෙන ඉරිදාට දර්ශනවාර පනහක් අවසන් වෙනවා නේද?

ඔව්. දර්ශන වාර 50 ක් ඉවරයි, මාස හතරකට. දැනට නාට්‍ය දර්ශන වාර 48 පෙන්නලා තියෙනවා. ඔක්තෝබර් 15 වැනිදාට 49 සහ 50 වැනි විශේෂ දර්ශනවාර දෙක බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී වේදිකාගත කරනවා.

“නරි බුරති 2” නාට්‍ය සාර්ථක කරගැනීමට සහායදුන් පිරිසත් මතක් කරමු ?

නිෂ්පාදනය සහ සම්බන්ධීකරණ කටයුතු කරන්නේ, චානක රඟහල.lk කුමාර තිරිමාදුර, පුබුදු චතුරංග, මිහිර සිරිතිලක, චින්තක පීරිස්, හේමන්ත ඊරියගම, ජනක රණසිංහ, වජිර කොඩිතුවක්කු, නිරෝෂන් සහ මම තමයි රංගනයෙන් දායක වෙන්නේ. විමලජිත් දොඹගහවත්ත සංගීතයෙනුත්, ප්‍රේමලාල් ලියනගේ පසුතල නිර්මාණයත්, ජනක රණසිංහ වේශ නිරූපණයත්, සමන්ති කොතලාවල රංග වස්ත්‍ර නිර්මාණයත්, ශිරාන් අලෝක කරණයත්, චාමර විජේසූරිය පසුතල නිර්මාණය සහ ලකී ශබ්ද පරිපාලනය සිදු කරනවා. ඉතින් මේ පිරිස තමයි නාට්‍ය සාර්ථක කරගන්නට මට සහාය වෙන්නේ.

වර්තමානය තුළ දකින්නට ලැබෙන ප්‍රේක්ෂකාගාරය පිළිබඳව ඔබේ අදහස?

දැන් නාට්‍යවලට ප්‍රේක්ෂකාගාරය වැඩියි. අපි නාට්‍යය අරන් බොහෝ තැන්වල ගියා, ඒ ගිය දර්ශනවාර 48ම හුඟක්ම හවුස් ෆුල්වුණා. එතරම් නාට්‍ය බලන්න පිරිස හිටියා. ඒ නිසා මම හිතනවා අපේ නාට්‍ය ගිය හැම තැනකම සාර්ථකයි කියලා. හොඳ ප්‍රතිචාර තියෙනවා. බොහෝ පිරිස් ඇවිල්ල කතා කරලා යනවා නාට්‍යය සම්බන්ධයෙන්. මම හිතෙනවා එකෙන්, අපි ජයග්‍රහණය කරලා තියෙනවා කියලා.

සරත් කොතලාවලයන් නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න හේතුව ?

මම නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ, මට දැනෙන දේ ප්‍රකාශ කරන්න විතරයි. සිනමාව හා නාට්‍ය ප්‍රකාශන මාධ්‍යයක් විදිහට තමයි මම භාවිත කරන්නේ. ඉතින් මේ නාට්‍යයත් මම ප්‍රකාශන මාධ්‍යයක් විදිහට කරපු නාට්‍යයක් කියලා කියන්න පුළුවන්.

● පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment