ජැක්සන් අයියේ ඔයා යන්නම ගියා නේද?

566

වේදිකාව, සිනමාව සහ රූපවාහිනී තිරය යන රංගනයේ තුන් මාධ්‍යයම ජගත් රංගධරයෙක්, ගායකයෙක්, රචකයෙක්, තිරකතා රචකයෙක්, කථිකයෙක්, ඉතිහාසඥයෙක්, චිත්‍රපට, ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙක්, සම්මානනීය ගීත රචකයෙක්, නාට්‍යවේදියෙක්, කවියෙක්, සිත්තරෙක්, පූරකයෙක්, ගුවන්විදුලි අධ්‍යක්ෂවරයෙක්, හඬ නළුවෙක්, සන්නිවේදකයෙක්, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක්, දේශකයෙක්, භාෂාඥයෙක්, ගවේෂකයෙක්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ගුරුවරයෙක්, සහාය පුස්තකාලයාධිපතිවරයෙක්, පුවත්පත් තීරු ලිපි රචකයෙක්, නවකතාකරුවෙක්, නැට්ටුවෙක් මෙන්ම වර්තමානයේ බොහෝ ජනාදරයට පත් අප හිතාදර කලාවේදී ජැක්සන් ඇන්තනී කලක පටන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව පසුගිය සඳුදා සිය ජීවන ගමන හමාර කළේය.

සිය පියා වන රාගම පොඩිවීකුඹුරේ බෙනඩික්ට් ඇන්තනි සහ සොයුරා වන සේනක ටයිටස් කලාකරුවන් වීම හරහා ජැක්සන් ඇන්තනීට කලා ලොව අත්පොත් තබන්නට හැකිවූයේ කුඩා කාලයේම ය. ‘මරාසාද්’, ‘මධුර ජවනිකා’, ‘ලෝමහංස’, ‘ධවල භීෂණ’, ‘අත්’, ‘මෝරා’, ‘තාරාවෝ ඉගිලෙති’, ‘ඔත්තුකාරයෝ’, ‘මෙතැතින් මාරුවෙන්’ වැනි වේදිකා නාට්‍යවලින් සිය දස්කම් පෙන්වූ ඔහු ‘පළිඟු මැණිකේ’, ‘ඇල්ල ළඟ වලව්ව’, ‘සුසීමා’, ‘වෙද හාමිනේ’, ‘අකාල සන්ධ්‍යා’, ‘දඬුබස්නාමානය’, ‘පිටගම්කාරයෝ’, ‘අප්පච්චි’ වැනි ටෙලි නාට්‍යවල සහ විශේෂයෙන් ‘කඩුල්ල’ නාට්‍යයේ කුරුතේරිස්ගේ රංගනයෙන් දක්ෂ නළුවෙක් බව මනාව ඔප්පු කර ඇත.

විජය ධර්ම ශ්‍රීගේ ‘ගුරු ගෙදර’ චිත්‍රපටයේ සුනන්ද ලෙස සිනමාවට එක් වූ ඔහු චිත්‍රපට රැසක විවිධ චරිත නිරුපණය කළ අතර ‘ජුලියට් ගේ භූමිකාව’ චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේය. ‘අබා’ සහ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපට ද අධ්‍යක්ෂණය කළ ඔහුගේ අභිනව චිත්‍රපටයන් වන ‘එකගෙයි සොකරි’ මෙන්ම “දේවි සම්බුලා” චිත්‍රපට ද නුදුරේ ම තිරගත වීමට නියමිත ය.

ඔහුගේ සිනමා භාවිතව තුළ රංගනය කළ සෑම චරිතයක්ම මතකයේ සදාතනිකව සටහන් වන්නට තරම් ප්‍රබල ය. ‘ලොකු දුව’ හි වික්‍රම, ‘බව දුක’ සහ ‘බව කර්ම’ හි පේදුරු, ‘තරණය’ හි තංගප්පන්, ‘විසිදැල’ හි නිමල්, ‘ගිනි අවි සහ ගිනි කෙළි’ හි තුම්මුල්ලේ පද්මේ, ‘ගරිල්ලා මාර්කටින්’ හි ග්‍රෙගරි, ‘රන් දිය දහර’ හි ලයනල්, ‘සූරිය අරණ’ හි සේදිරිස්, ‘ප්‍රවේගය’ හි බැන්ඩෝ, ‘මහරජ ගැමුණු’ හි එළාර රජු, ‘ඇඩ්‍රස් නෑ’ හි නාසිවත්තේ හිට්ලර්, ‘ධර්ම යුද්ධය’ හි හරිශ්චන්ද්‍ර වැනි චරිතයන් ඔහුගේ සිනමා චරිත අතර ප්‍රබල මතකයන් වනවිට ‘අයෝමා’, ‘අග්නි දාහය’, ‘පුනරුප්පත්තිය’, ‘අස්වැසුම’, ‘මිල්ලේ සොයා’, ‘කුරුලු පිහාටු’, ‘උදුම්බරා’ වැනි චිත්‍රපටවලින් ඔහු සහෘදයා අතරට සමීප වූවේය. මෑතක දී තිරගත වුණු ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඝරසරප’ චිත්‍රපටයේ කළු කුමාරයාගේ චරිතය තුළින් ඔහු ලාංකේය සිනමා රංගනයේ නව පරිචයක් හඳුන්වාදීමට සමත් වූ අතර මේ වනවිට ඔහු සිනමාවේ හොඳම නළුවා ලෙසින් විසි හය වතාවක් සම්මානයට පාත්‍ර විය.

ජැක්සන් අයියේ ඔයා යන්නම ගියා නේද?

ඒ අතරින් ද සොළොස් වතාවක් සිනමාවේ පමණක් හොඳම නළුවා වීමට භාග්‍යවන්ත වූ ඔහු පළමු වරට ජනප්‍රිය නළුවා සම්මානයක් ද ඔහු ඉකුත් වසරක දෙරණ සිනමා සම්මාන උළලේ දී ලැබුවේය.

ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයේ ද සම්මානනීය නළුවෙකු ලෙසින් විරාජමාන ඔහු ‘අප්පච්චි’ නාට්‍ය සඳහා කළ අනුවේදනීය චරිතය විශිෂ්ටය. ‘දස්කොන්’ සහ ‘සී රජ’ ඔහු විසින් මෑතක දී අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය නිර්මාණයන් ය. ගායකයෙකු ලෙස ද ජනප්‍රිය ඔහු සම්මානනීය ටෙලිනාට්‍ය ගේය පද රචකයෙකි.

ඔහුගේම නිර්මාණයක් වූ ‘ඇසළ කළුවර’ ටෙලිනාට්‍ය සඳහා ඔහු ලියූ සමන්ත පෙරේරා සමග ඉන්ද්‍රචාපා බුලත්සිංහල ගයන ‘සුවඳයි මල් සුවඳ සේ……………’ ගීතය ඔහු ලියූ ජනප්‍රියම ගීතයකි.

ඔහුගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ ද දක්ෂ නිළියක සහ ගායිකාවක වන අතර මාධවි වත්සලා, අඛිල ධනුද්දර සහ සජිත අනුත්තර යන දරු තිදෙනා ම රංගනයෙන්, ගායනයෙන්, නර්තනයෙන් සහ නිවේදනයෙන් අද වනවිට සිය දස්කම් දක්වයි. ඇන්තනී කැදැල්ලට එක්වූ අඛිලගේ දියණිය ආරාණ්‍යා දියණිය මෙන්ම සජිතගේ පුතු ද සමගින් මිණිපිරියක සහ මුණුපුරෙකු සිටින මුත්තණුවන් කෙනෙකු විය..

ඔහු විසින් මඟ පෙන්වන ලද මතු පරම්පරාවක් ද මේ වනවිට කලා ලෝකයේ විවිධ ස්ථානයන්හි මුදුන්පත් වී ඇත. දශක දෙකකට අධික කාලයක සිට මා ඔහු හඳුනන අතර විටින්විට ඔහුගේ ඡායාරූප ගැනීමට මා භාග්‍යවත් විය.

ආසන්නතම වශයෙන් ඔහු ඡායාරූප ගත කිරීමට මට හැකිවූවේ ඔහුගේ ආදරණීය ශිෂ්‍යයෙකු අකාශ් තාරුක පෙරේරා පුතුගේ උපන්දිනය වෙනුවෙන් අඛණ්ඩව දෙවැනි වරටත් ඉකුත් 2021 වසරේ පෙබරවාරි 24 වැනිදා පැවැත්වුණු පුදුම කිරීමේ සාදයට ජැක්සන් අයියා පැමිණි අවස්ථාවේය.

2018 වසරේ නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ රංගනය න්‍යාය ගත කරමින් ඔහු ‘මාලිනී රංග න්‍යාය’ යන නමින් ග්‍රන්ථයක් එළිදැක්වූ අතර සිනමාව සහ රූපණවේදය අධ්‍යනය කරන ශිෂ්‍ය පරම්පරාවට එය මහඟු සම්පතකි. රියැලිටි තරඟ විනිසුරුවරයෙකු ලෙසින් ද ‘Youth With Talent’ සහ ‘Hiru Super Dancer’ යන වැඩසටහන් ද්විත්වයේ කටයුතු කරන ඔහු විසින් ලියූ සනුක වික්‍රමසිංහ සංගීතවත් කොට සජිත ගයන ‘ස්වර්ණපාලියේ……….’ ගීතය සහ චින්තක ජයකොඩි සංගීතවත් කළ ‘මිහිරාව ආවා………..’ යන ගීතයන් තාරුණ්‍යය කෙටි කාලයකින් වැළඳගන්නට විය.

මගේ ජනප්‍රිය ගීතයක් වන ‘මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ………’ ගීතය ඔහුගේ දියණිය වන මාධවී වත්සලා නිරතුරුව ගයන ගීයක් බවත් එය අතිශය හැඟීම්බර ගායනාවක් බවත් නිහතමානීව පවසමින් ඔහු මා දිරිගැන්වීම මට මහත් සතුටකි.

ඉකුත් වසරක මගේ උපන්දිනය දා දහවලේ කටහඬ මදක් වෙනස් කොට මට සරදම් කරමින් සුබ පැතුම් එක් කළේ ජැක්සන් අයියා යැයි මා නොසිතූ නිමේෂයක ඔහු තම අනන්‍යතාව හෙළි කිරීම මට මහත් සතුටක් වූයේ ඔහු වැනි සුවිශේෂී ප්‍රවීණයෙකුගේ එම හෘදයාංගම සුබ පැතුම මට මහත් වටිනා නිසාවෙනි.

කෙසේ නමුදු ඔහු එක්වූ ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සිංහබාහු‘ චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධ වී සිටිනවිට තලාවේ ප්‍රදේශයේ දී වසරකට පමණ පෙර දිනයක රාත්‍රියේ ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරින්, පුරා වසරක් මුළුල්ලේ ඔහු ප්‍රතිකාර ලබමින් පසුවූ අතර එම වකවානුවේ අප සැවොම ඔහුට කඩිනම් සුව ලැබීම වෙනුවෙන් අප අදහන ආගම දහමට අනුව ඔහුට සෙත් ප්‍රාර්ථනා කළ අවස්ථා බොහෝ ය.

කෙසේ නමුදු මේ ශූර මිනිසා සදහටම දෙනෙත් වසාගත් බව පවුලේ ඥාතින් විසින් දැනුම් දී හමාර ය.

ඔහු මේ මොහොතේ තමන් පැතූ සුවය සොයා ගොස් ඇතැයි සිතා අප අස්වැසීම පමණක් ඉතිරි වී ඇත. ආදරණීය කුමාරි ඇතුළු පවුලේ සැමට මගේ සාතිශය සංවේගය දන්වමි.

ආදරණීය ජැක්සන් අයියේ ඔබට අජරාමර නිර්වාණ සුවයම අත්වේවායි පතමි !!!

මුහුණපොතේ සටහනකිනි

● දයාන් විතාරණ

ජැක්සන් අයියේ ඔයා යන්නම ගියා නේද?
advertistmentadvertistment
advertistmentadvertistment