පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
පිල්ලෙයාන් ත්‍රස්තවාදියෙක් වගේම අනුර කුමාරත් ත්‍රස්තවාදියෙක්
මට හිතෙන්නෙ මම නිකං රම්බෝ වගේ මේ දවස්වල…
අහෝසි කරනවා කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අද මේ ගොල්ලෝ පාවිච්චියට ගන්නවා…
අහෝසි කරනවා කියූ ත්‍රස්ත පනත විරුද්ධවාදීන් මර්දනයට යොදාගෙන
“පාස්කු ප්‍රහාරය ගැන පිල්ලෙයාන් එහෙම කිසිවක් වමාරලත් නෑ. වමාරන්න කවුරුවත් කිසිවක් අහලත් නෑ. වමාරන්න දෙයක් ඇත්තෙත් නෑ. ආණ්ඩුව සැලසුම් කළේ පිල්ලෙයාන් කිව්වයි කියලා කාවහරි අත්අඩංගුවට අරන් මහමොළකරුවන් අල්ල ගත්තා කියලා 21 වෙනිදා ප්‍රකාශයක් නිකුත් කරන්න. නැවත වතාවක් කතෝලික ජනතාව විතරක් නෙවෙයි. රටේම මිලියන 22ක ජනතාව මුළා කරන්න. මම ඒකට ඉඩ තිබ්බේ නෑ. අන්න එහෙම මම මේ ආණ්ඩුවේ “හාවා නරියා කිරීමේ කූට ප්‍රයත්නය” පරාජය කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සංවාදයට එකතු වුයේ මෙසේ කියමිනි.
ප්‍රශ්නය – මේ ප්‍රහාරය ඕපපාතිකව සිදු වෙච්ච එකක්. මහ මොළකරුවෙක් ඉඳලම නෑ…
පිළිතුර – කවුද එහෙම කියන්නේ? මේ ප්‍රහාරයට මහමොළකරුවෙක් ඉන්නවා. ඒ තමයි සහරාන්. ඒක මම හිතලා කියන දෙයක් නෙවෙයි. අන්තර්ජාතික පරීක්ෂණ කණ්ඩායම් ඔප්පු කරපු දෙයක්. ඔස්ට්‍රේලියාවේ AFP ආයතනය. විශේෂයෙන්ම ඇමෙරිකාවේ FBI ආයතනය. ඒගොල්ලෝ ඒක ඔප්පු කළා. ඔබ දන්නවා මේ ප්‍රහාරයෙන් ඇමෙරිකානුවෝ කීප දෙනෙකුත් මියගියා. ඒ වගේම 2019 අප්‍රේල් 23 වෙනිදා ප්‍රහාරයට පැය 48ක් ගතවන්නට මත්තෙන් ISIS සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන නිවේදනයක් නිකුත් කරනවා. විශේෂයෙන් මේක ඇමෙරිකාව බරපතළ ලෙස ගත්තා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා ලංකාවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. FBI ආයතනය ස්වේච්ඡාවෙන් ඇවිත් මේ ගැන දත්ත හොයා බලල දත්ත විශ්ලේෂණය කරලා හඳුනාගෙන පරීක්ෂණ වාර්තාව නිකුත් කළා. ඒ අනුව මේ ප්‍රහාරය සැලසුම් කළ කෙනා තමයි මොහොමඩ් සහරාන් හෂීම්.
ප්‍රශ්නය – ඔහුනේ මේ ප්‍රහාරය එල්ල කළ කෙනා. ඔහු මියගියා. ඔහුට පිටුපස්සෙන් සිට උපදෙස දුන්, ඔහුව යොමු කළ කෙනාව තමයි මේ හොයන්නේ..?
පිළිතුර – ඒක තමයි… ඒ වනවිට සහරාන් හෂීන් කියන්නේ ISIS සංවිධානයේ ලංකාවේ ශාඛාවේ නායකයා. ඒ බැව් ඔප්පු වෙන සාක්ෂි ඕන තරම් තියෙනවා. ඔබ දැකල ඇති එක වීඩියෝවක් තියනවා කළු ඇඳගත් පුද්ගලයෝ හත්දෙනෙක් ISIS නායක අල් බක්දාදිට පක්ෂපාතීත්වය පළ කරනවා. ඒකෙ මැද මූණ පේන්න ඉන්නේ සහරාන්. ප්‍රහාරය අවසන් වන විට නායකයත් මියගිහින් ඉවරයි. සිද්ධියෙන් පස්සේ කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට අනෙකුත් අපරාධකරුවන් හඳුනා
ගන්නවා. ඒ අනුව ලංකාවේ ISIS ශාඛාවේ දෙවැනියා වන “නව්ෆර් මවුලවි” ඇතුළු අපරාධකරුවන් පිරිසකට 2021දී නඩුත් වැටෙනවා. අපරාධ නඩුවක් විභාග වෙලා ඉවර වෙන්න කාලයක් යනවනේ. ඉතින් අපරාධකරුවන්ට නඩු දාලා තියෙනවා. මහමොළකරුවන් හා අපරාධකරුවන් හඳුනගෙන තියෙනවා. නීතිමය ක්‍රියාමාර්ග ඔවුන්ට එරෙහිව අරගෙන තියෙනවා.
ප්‍රශ්නය – එමගින් ඔබ සෑහීමකට පත්ව ඇති බව පේනවා. හැබැයි පාස්කු වින්දිතයන් හා කතෝලික සභාව තවම ඒ ගැන සෑහීමකට පත්ව නැහැ. ඔවුන් තවම යුක්තිය ඉල්ලනවා. මහමොළකරුවෙක් ඉල්ලනවා. ඔවුන් සෑහීමකට පත් නොවන්න මොකක් හෝ ප්‍රශ්නයක් තියෙන්න ඕන..?
පිළිතුර – ඒකට උත්තරයක් තියනවා. ඒ තමයි එවකට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා කරන ලද ප්‍රකාශයක්. 2021 මැයි 26 ඔහු විශ්‍රාම යා යුතුව තිබුණා. ඒත් පාස්කු පරීක්ෂණ ඉවර කරල නඩු දැමීම, ඒ වෙනකොට සිදුවෙලා නෑ. හැබැයි එතුමට ඕන වුණා මේ නඩු ටික දානතුරු තනතුරේ ඉන්න. එතුමා ඒ සඳහා සේවා දිගුවක් ඉල්ලුවා. හැබැයි එතුමාගේ හැසිරීම් රටාව හා නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් වීම් පටිපාටිය මත කවුරුවත් එතුමාට සේවා දිගුවක් දෙන්න කැමති වුණේ නෑ.
ඔන්න ඔය වෙලාවෙ එතුමා ප්‍රකාශයක් කළා මේ පරීක්ෂණ හමාර කර නඩු දමන්න මම සිටිය යුතුමයි. මම කතෝලිකයෙක්. මොකද මේක පිටිපස්සෙ මම දන්න දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. එයා උත්සාහ කළේ කතෝලික ජනතාවගේ බලපෑමක් ඇති කරල ඒ තුළින් නැවත නීතිපති වෙන්න. ත්‍රස්තවාදීන්ට පිටින් මේ සඳහා මහමොළකරුවෙක් හිටියාය කියන සංකල්පය මේ කතාව ඇතුළට ආවේ ඔතනින්.
ප්‍රශ්නය – ජනාධිපතිතුමා කිව්වා පාස්කු 21 වැනිදා වෙනකොට මහමොළකරු හෙළිදරව් කරනවා කියලා.. ? ඔබ එය අවුල් කළා කියලයි චෝදනාව..!
පිළිතුර – මම මොකක්ද කළේ… ඒකත් කියන්න එපාය. චැනල් 4 ප්‍රකාශය ඉමාම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කරල තිබුණත්, එහි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් නොහොත් පිල්ලෙයාන් ගැන ඇති සඳහන උපයෝගි කරගෙන මේ ආණ්ඩුව ඔහුව ගන්නවා අත්අඩංගුවට. ගේනවා සී අයි ඩීයට. ගෙනල්ල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝගයක් මත දානවා ඇතුළට.
පිල්ලෙයාන්ගේ නීතිඥයා මගේ මිත්‍රයෙක්. ඔහු ආව මාව හමුවන්න. ඇවිත් කරුණු කීපයක් සම්බන්ධයෙන් මගේ උපදෙස් පැතුවා. අලුත් නීතියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13/1 වගන්තිය පරිදි යම්කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්නවා නම් රිසිට් පතක් නිකුත් කරන්න ඕන. අත්අඩංගුවට ගන්නේ කාවද, ගන්නේ කවුද, කවදද, කොතනදීද, කොහොමද, ගෙනියන්නේ කොහාටද, කුමන වරදකටද? කියන කාරණා ටික එහි සඳහන් කරන්න ඕන. ඉතින් අපි දැක්කා පිල්ලෙයාන්ට ඒ දීපු ලදු පතේ “කරන ලද වරද” කියන තැන තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති අංක කීපයක් පමණයි. අඩුම තරමින් අත්අඩංගුවට ගන්න ආපු පොලිස් නිලධාරීන්වත් දන්නේ නෑ අත්අඩංගුවට ගන්නෙ මොකටද කියලා. එහෙමයි පිල්ලෙයාන්ව ඇතුළට ගන්නේ.
ආණ්ඩුවේ ඇමැතිවරු පරස්පර විරෝධී එක එක කතා කියනවා. ඒ අතරේ වැදගත්ම කාරණාව තමයි ආණ්ඩුවට උදව් කරන සමාජ මාධ්‍යවල ඉන්නවනේ “පැලවත්තේ දායක සභාව” කියල එකක්. අන්න ඒගොල්ලෝ සමාජ මාධ්‍යවලින් රට පුරා ප්‍රචාරය කරනවා “පිල්ලෙයාන් සියල්ල වමාරයි.. මහමොළකරු හෙළිවෙයි, රාජපක්ෂලා අමාරුවේ” කියලා… එතකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්නෙත් නැති දේවල් ෂෝෂල් මීඩියා දායක සභාව දන්නේ කොහොමද… වැදගත්ම කාරණාව තමයි මේ ගැන කතා කරන්නවත් පිල්ලෙයාන්ගේ නීතිඥයාට ඔහුව හමුවන්න පොලිසිය ඉඩ දෙන්නෙ නෑ….
මෙන්න මේ තත්ත්වය මත තමයි මම මේ පිල්ලෙයාන් පිළිබඳ කාරණාවට මැදිහත් වෙන්න තීරණය කළේ..
ප්‍රශ්නය – අපි දැක්කා යම්කිසි තැනක ඔබ කියලා තිබුණා ඔහු ඇතුළේ ඉතා නිදහසේ ඉන්නවා කියලා. ඇත්තටම ඔබ යන විට ඔහු කොහොමද හිටියේ..?
පිළිතුර – අපිට හමුවෙන්න දෙන්නෙ ඔහු ඉන්න තැනම නෙවෙයි නේ. වෙනම කාමරයක. ඔහුට අමතරව වෙනත් නිලධාරීන් හතර දෙනෙක් අපි කතා කරන දේ අහගෙන ඉන්නවා. ඔහුව දැක්ක ගමන් මට මතක් වුණා, මීට ටික දිනකට කලින් ඔහු මාව හමුවන්න ඇවිත් ස්තුතියක් කළා. ඔහු කිව්වේ “ඉමාම් වාර්තාව රටට හෙළි කිරීම තුළින් ඔබතුමා මාව ලොකු කරදරයකින් ගලවගත්තා”. ඒකට ස්තුතියි කියලා. නැත්තම් මම නොකළ වරදකට දඬුවම් විඳිනවා කියලත් කිව්වා. එහෙම කියල ඒ ගැන ඔහු ලියපු පොඩි පොත් පිංචක් මට තෑගි කරල ගියා.
අන්න ඒක නිසා මම ඔහුගෙන් ඇහුවා… “ඔබ ගැන සමාජ මාධ්‍යයන්හි නොයෙකුත් දේවල් යනවා. ඔබ පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු සියල්ල වමාරනවා කියනවා. ඒක ඇත්තද කියලා. එවෙලේ ඔහු කියපු දේ තමයි හරිම වැදගත්. ඔහු කියනවා… “මම දැන් මෙතනට ඇවිල්ල දවස් හතරක් වෙනවා. පාස්කු ප්‍රහාරයක් ගැන කවුරුවත් මගෙන් මොනවත් අහලත් නෑ.. මම මොනවාවත් කියලත් නෑ. මොනවාවත් කියන්න මම ඒ ගැන කිසිවක් දන්නෙත් නෑ. අනේ ඇමැතිතුමා. මම 2015 ඉඳලා 2020 වෙනකම් හිටියේ හිරේනේ. මම කොහොමද 2019 එළියේ වෙච්ච පාස්කු ප්‍රහාරයක් ගැන දන්නේ…” කියලා.
ප්‍රශ්නය – ඒ වුණාට ඔවුන්ගේ චෝදනා තුළ මෙහෙම කතාවකුත් තියෙනවා. ඔබ මීට පෙර මෙවන් ප්‍රධාන පෙළේ චූදිතයන් වෙනුවෙන් පෙනී ඉඳලත් නෑ. ඔබ දුවගෙන ගියේ පිල්ලෙයාන්ට පණිවිඩයක් කියන්න. මහමොළකරුවන් බේරගන්න..?
පිළිතුර – මොන විකාරයක්ද. ඔය වගේ ෂෝෂල් මීඩියා බොරු බේගල් ගැන ඔබ වැනි කෙනෙක් මගෙන් අහන එකත් විහිළුවක්නේ. අපි බබාලද. ඔතනට ගිහින් කොහොමද රැඳවියකුට පණිවිඩයක් කියන්නේ. රහසේ. පොලිස් නිලධාරීන් කී දෙනෙක් බලා ඉන්නවද. කීදෙනෙක් අහගෙන ඉන්නවද. කීදෙනෙක් ටේප් කරනවද. එකකට එකක් තාර්කික නැති පරස්පර බොරු විකාර කතා. මම කාගෙවත් පණිවිඩයක් පිල්ලෙයාන්ට අරන් ගියේ නෑ. හැබැයි මම පිල්ලයාන් පිළිබඳ ඇත්ත තත්ත්වය එළියට ඇවිත් රටටම කිව්වා. කොටින්ම ආණ්ඩුව කියන්නෙ බොරු ජනාධිපති කියන්නෙ බොරු කියන එක මම හෙළිකළා.
අනිත් එක මම කා වෙනුවෙන්වත් පෙනී හිටපු නැති නීතිඥයෙක් කියන කතාව මං බැහැර කරනවා. ඒ ගැන උදාහරණ ඕන තරම් කියන්න තිබුණත් මේ වෙලාවෙ අපි ඔය බොළඳ තර්කවලට උත්තර දෙන්න කාලය මිඩංගු කළයුතු නෑ.
ප්‍රශ්නය – නලින්ද ජයතිස්ස පහුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී කියනවා… පිල්ලෙයාන් 2019 දී හිටියෙ හිරේ කිව්වට හිර ගෙවල් ඇතුළෙ ඉඳන් අපරාධ සැලසුම් කරන අය ඕන තරම් ඉන්නව කියලා.. ?
ප්‍රශ්නය – එහෙමනම් ඉතින් මේ ගොල්ලන්ට කරන්න තිබුණේ ඒ පිළිබඳ තොරතුරු හොයලා සාක්කි එක්ක මේ පුද්ගලයව අධිකරණයට ඉදිරිපත් කරන එකනේ. විනිසුරුවරු අහනවා සාක්කි. පිළිගත හැකි සාක්කි නැත්නම් ඇප ලබා දෙන්න වෙනවා. එහෙම නොකර ඇයි “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යටතේ මෙයාව ඇතුළට දැම්මේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට යන්න ඕන නෑ. ආරක්ෂක ඇමැති වන ජනාධිපතිට පුළුවන් රැඳවුම් නියෝගයක් ලබා දෙන්න. මේක හරි භයානක තත්ත්වයක්නේ. ඔබටයි මටයි වුණත් මේ පනත යටතේ ක්‍රියා කළොත් මේ දඬුවම ම තමා.
ඉතිහාසය පුරාම අරගෙන බලන්න. ජනතා විමුක්ති පෙරමුණ තරම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විවේචනය කරපු පට්ට ගහපු, ඒක අහෝසි කරනවා කියපු වෙනත් දේශපාලන පක්ෂයක් නෑ. හැබැයි මේගොල්ලෝ අද ඇවිල්ල පාවිච්චි කරන්නේ ඒක. මොන තරම් විලි ලැජ්ජ නැති වැඩක්ද. පනත අහෝසි කරනවා කියලා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියනවා. හැබැයි දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන්න ඔවුන් අද ඒ පනත යොදාගන්නවා. ලැජ්ජ නෑ ඔවුන්ට….
සාකච්ඡා කළේ
බුලිත ප්‍රදීප් කුමාර