මරදානේ ලැගුම්හලකට පැන යකා නැටූ විත්තිකරු වසර 7 ක් හිරේ

760

ආයුධ සන්නද්ධව තවත් තිදෙනකු සමග මරදාන ප්‍රදේශයේ පිහිටි අමුත්තන්ට නවාතැන් පහසුකම් සපයන ලැගුම්හලකට කඩා පැන සේවකයන්ට පහරදී තුවාල සිදු කර රුපියල් 75,000 ක මුදලක් පැහැරගෙන යෑමේ චෝදනාවකට වරදකරු කළ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (08 දා) බරපතළ වැඩසහිත වසර හතක සිරදඬුවමක් හා රුපියල් 5000 ක දඩයක් නියම කළේය.

එයට අමතරව එම නඩුවේ පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමටත් හා එකී වන්දිය දඩයක් ලෙස අයකර ගැනීමටත් නියෝග කළ විනිසුරුවරයා එකී වන්දිය නොගෙවන්නේ නම් මාස 18 ක අමතර සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.

මේ වනවිට අධිකරණය මගහැර ගොස් සිටින පයාගලගේ රුක්මන් චමින්ද නමැති එම විත්තිකරු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම දඬුවම් ක්‍රියාත්මක කිරීමට ද නියෝග කළේය. නීත්‍යානුකූලව පවත්වාගෙන ගිය එම ආයතනයට තවත් පිරිසක් සමග කඩා පැන ආයුධ පෙන්වා විත්තිකරු සිදුකර ඇත්තේ ඉතා බරපතළ වරදක් බවත් එකී වරදට සරිලන උපරිම දඬුවම් නියමකරන ලෙසත් පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විමර්ශන සිදුකළ මරදාන පොලිසිය වෙනුවෙන් පොලිස් සැරයන් (3409) ජයතිලක මහතා පෙනී සිටියේය.

සෙසු විත්තිකරුවන් තිදෙනා මුල් අවස්ථාවේදීම අධිකරණය හමුවේදී වරද පිළිගෙන දඬුවමට යටත් වී තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment