ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට මග පෙන්වයි

374

එක් දින ලෝක ක්‍රිකට් ශූරතාව පස් වතාවක් ජයග්‍රහණය කර වාර්තා තබා සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර තරඟාවලියේ මුහුණ දුන් පළමු තරග දෙකම පරාජයට පත් වී සිටියද ශ්‍රී ලංකාව සමඟ ඊයේ (16 වැනිදා ) පැවති තරගයේදී කඩුලු‍ 5 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් නව බලාපොරොත්තු එක් කර ගැනීමට සමත් වූයේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 209 පසු කර යාමට ඔස්ට්‍රේ‍ලියාවට වැය වුණේ පන්දු වාර 35ක් පන්දු 2ක් සහ කඩුලු‍ 5 ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට තරගාවලිය තුළ දී සහභාගි වූ තරග තුනෙන්ම පරාජයට පත්ව සිටී.

ඔස්ට්‍රේ‍ලියා කණ්ඩායමේ පළමු කඩුලු‍ දෙක මුළු ලකුණු සංඛ්‍යාව 24 ක්ව තිබියදී දවා ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ සමත් වුවද ඔහුගේ සහායක පන්දු යවන්නා වූ ලහිරු කුමාර තරගය නිමා වන විට පන්දු වාර 4 ක් තුළදී ලකුණු 47 ක් ඔස්ට්‍රේ‍ලියානු පිතිකරුවන්ට පිරිනමා තිබුණි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට ජොස් ඉංග්ලිස් සහ මිචෙල් මාෂ් සමත් වූ අතර මානස් ලැබුශේන් ලකුණු 40 ක් සහ ග්ලේන් මැක්ස්වල් නොදැවී ලකුණු 31 ක් ලබා ඔස්ට්‍රේ‍ලියාව ජයග්‍රහණයට දායකත්වය ලබා දුන්හ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා ලකුණු 125 ක සම්බන්ධතාවයක් වාර්තා කිරීමට කුසල් ජනිත් සහ පැතුම් නිශ්ශංක සමත් වූවද තවත් ලකුණු 84 ක් තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු‍ පිතිකරුවෝ මුළු ලකුණු සංඛ්‍යාව 209 දී දැවී ගියහ.

ඉන්දියාවේ එකානා ක්‍රීඩාංගනයේ ඊයේ (16 වැනිදා ) පැවති එම තරඟයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වාර්තා කළ අර්ධ ශතකයන්ට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත්වූයේ චරිත් අසලංක පමණි.ඔහු ලකුණු 25 ක් රැස් කළ අතර සෙසු පිතිකරුවන් 8 දෙනාගේ ලකුණු සංඛ්‍යාවන් දුරකථන අංක බවට පත්විය.

එහිදී පන්දු යැවීමෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ඔස්ට්‍රේ‍ලියාවේ ඇඩම් සම්පා කඩුලු‍ 4 ක් ද මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ස් කඩුලු‍ 2 බැගින් ලබා ගත්හ.

කුසල් ජනිත් පන්දු 82 කදී හතරේ පහර 12 ක් සමග ලකුණු 78 ක් රැස් කර ගත් අතර පැතුම් නිශ්ශංක පන්දු 67 කදී ලකුණු 61 ක් ලබා ගත්තේය.

එම කඩුලු‍ දෙකම බිඳ දැමීමට නායක පැට් කමින්ස් සමත් වූ අතර තරගාවලියේ මුල් තරග දෙක තුළදී ලකුණු 198 ක් වාර්තා කර ගෙන සිටි ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම පිතිකරු ලෙස පිටියට පැමිණි නායක කුසල් මෙන්ඩිස් ලකුණු 08 කට දැවී ගියේය. කුසල් ජනිත් සහ පැතුම් නිශ්ශංක දෙදෙනා විසින් වාර්තා වාර්තා කරන ලද ලකුණු 125 සම්බන්ධතාවය ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවන් වාර්තා කළ ඉහළම 5 වැනි ලකුණු සම්බන්ධතාවය ලෙස සටහන් වූයේය.

එසේම ඔස්ට්‍රේ‍ලියාවට එරෙහිව ලෝක කුසලාන තරගවලදී ලොව ඕනෑම රටක ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම අර්ධ ශතක ඉක්මවා ලකුණු රැස් කළ පස්වැනි අවස්ථාව ලෙස කුසල් ජනිත් ගේ සහ පැතුම් නිශ්ශංක ගේ අර්ධ ශතක දෙක වාර්තා පොත් අතර ලියවේ.

එසේම එම ලැයිස්තුවේ දෙවතාවක් නම සටහන් කරගෙන සිටින ලොව එකම පිතිකරුවා ලෙස ද කුසල් ජනිත් ගේ නම සදහන් වන අතර මීට පෙර දිමුත් කරුණාරත්න සමග එක්ව ඔහු එම දස්කම දක්වා තිබේ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 209/10(43.3)

පැතුම් නිශ්ශංක 61, කුසල් ජනිත් 78, කුසල් මෙන්ඩිස් 09, සධීර සමරවික්‍රම 08, චරිත් අසලංක 25, ධනංජය ද සිල්වා 07,දුනිත් වෙල්ලාලගේ 02,චාමික කරුණාරත්න02 ,මහීෂ් තීක්ෂණ 00,ලහිරු කුමාර 04,ඩිල්ශාන් මධුසංඛ නොදැවී 00

අතිරේක 13

පන්දු යැවීම – පැට් කමින්ස් 7-43-2 , මිචෙල් ස්ටාර්ක් 10-43-2, ග්ලේන් මැක්ස්වල් 9.3-36-1, ජොස් හේස්ල්වුඩ් 7-36-0, ඇඩම් සම්පා 8-47-4, මාකස් ස්ටොයිනිස් 2-11-0

ඔස්ටේ්‍රලියාව 215/5(35.2)

ඩේවිඩ් වෝනර් 11,මිචෙල් මාෂ් 52,ස්ටීව් ස්මිත් 00,මානස් ලැබුශේන් 40,ජොස් ඉංග්ලිස් 58,ග්ලේන් මැක්ස්වල් නොදැවී 31,මාකස් ස්ටොයිනිස් නොදැවී 20

අතිරේක 03

පන්දු යැවීම – ඩිල්ශාන් මධුසංඛ 9-38-3,ලහිරු කුමාර 4-47-0,මහීෂ් තීක්ෂණ 7-49-0, ධනංජය ද සිල්වා 3-13-0, දුනිත් වෙල්ලාලගේ

9.2-53-1 චාමික කරුණාරත්න 3-15-0

කුෂාන් සුබසිංහ එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment