මහජන විරෝධය මැද කල්පිටිය අනුරාධපුර යතුරුපැදි සවාරිය නවත්වයි

332

කල්පිටියේ සිට අනුරාධපුරය බලා ධාවනය වීමට නියමිතව තිබූ යතුරුපැදි සවාරිය මහජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පොලිස් මූලස්ථානය ඊයේ (18 දා) කටයුතු කර ඇත.

ඉන්ධන හිඟයෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටියදී මේ ආකාරයට දැවැන්ත රථ පෙළපාලි පැවැත්වීම මහත් ආන්දෝලනයට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබිණි.

මෙම රථ සවාරිය මුල් අදියර මීරිගම සිට කල්පිටිය දක්වා පෙරේදා (17 දා) සංචාරය කර තිබිණි. එහිදී ස්ථාන රැසක දී මෙම රථ සංචාරයට මහජනතාවගේ දැඩි විරෝධයක් එල්ල විය.

ඇතැම් ස්ථානවලදී කෝපයට පත්වූ මහජනතාව මෙම රථ සවාරියේ ගමන්ගත් පුද්ගලයන්ට පහරදීමට පවා උත්සාහ කර තිබිණි.

පොලිස් මූලස්ථානය ලබාදුන් නියෝගවලට පටහැනිව ක‍්‍රියා කිරීම, අනාරක්‍ෂිත අන්දමින් රිය ධාවනය කිරී, මහජනයාගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ මෙම රථ සවාරියේ දෙවන අදියර වන කල්පිටියේ සිට අනුරාධපුරය බලා ධාවනය වීමට නියමිතව තිබූ සංචාරය නතර කිරීමට කටයුතු කළ බව පොලිස් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම යතුරුපැදි සහ සුඛෝපභෝගි රථ සංචාරය සඳහා පොලිස් මූලස්ථානයට ගෙවීමක් කර ඊට අවසර ලබා ගෙන තිබු බවයි.

එහෙත් මෙම සංචාරය සඳහා පොලිසිය ලබාදුන් නියෝග නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක නොකිරීම නිසා මහජනතාවට ගැටලූ රැසකට මුහුණ දීමට සිදුවිය. මේ හේතුව නිසා මෙම යතුරුපැදි සංචාරය නතර කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කළ බව ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ස්වෙච්ඡා සංවිධානයක් විසින් පැවැත්වූ මෙම යතුරුපැදි සංචාරයේදී කල්පිටිය ප‍්‍රදේශයේ දිලිඳු පවුල් රැසකට ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක්ද සංවිධානය කර තිබිණි.

එමෙන්ම මෙම ස්වෙච්ඡා සංවිධානය මහරගම පිළිකා රෝහලටද මුල්‍ය ආධාර ලබාදීමට කටයුතු කර තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment