මත්කුඩු නැති විට ප්‍රබල වේදනානාශක භාවිතයට තරුණ පිරිස පෙළඹිලා – විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන

113

වලිප්පුව හා අපස්මාර රෝග ලක්ෂණ මතුවන තත්ත්වයට පත්වූ ළමුන් රෝහල් ගතවීමේ ප්‍රවණතාව ඉහළ යමින් තිබෙන බව මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා පවසයි.

ප්‍රබල වේදනානාශක අධිමාත්‍රාව බැගින් කලක පටන් ලබාගැනීම හේතුවෙන් පාසල් සිසුන් වෙතින් අදාළ රෝග ලක්ෂණ මතු විය හැකි බව ද හෙතෙම කීය. දෙමව්පියන් මෙන්ම වැඩිහිටි බොහෝ දෙනා දරුවන් රෝහල් ගතකරන්නේ වලිප්පුව හෝ අපස්මාරය විය හැකි බවට අනුමාන කරමින් වුවත් ඊට හේතුව මත්වීමේ අරමුණින් වේදනානාශක පෙති අඛණ්ඩව ලබා ගැනීම යැයි ද ඒ මහතා කීය.

හෙරොයින් ලබා ගැනීමට නොහැකි වූ විට ඒ වෙනුවට ප්‍රබල වේදනානාශක භාවිත කිරීමට තරුණ තරුණයින් පෙළඹී සිටින බවත් සිසේරියන් සැත්කමකට ලක් වූ මවකට ලබා දෙන ප්‍රමාණයකට වඩා පස් ගුණයකින් වැඩි වේදනානාශක මාත්‍රාවක් දෛනිකව ලබා ගන්නා පාසල් සිසුන් ද වාර්තා වන බවත් හෙතෙම පැවසුවේය.

‘මත් උවදුරින් රට බේරා ගනිමු’ මැයෙන් මහනුවර ශ්‍රී පුෂ්පාදන සමිති ශාලාවේ ඊයේ (03) පැවැති වැඩසටහනක දී අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අදහසට අනුව මහනුවර පොලිසියේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට පුෂ්පදාන සමිතිය අනුග්‍රාහකත්වය ලබා දී තිබිණි.

මාතලේ, මහනුවර හා ගම්පොළ පොලිස් කොට්ඨාසවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයින් 300 දෙනකු පමණ මෙම වැඩසටහනට සම්බන්ධ වූ අතර ඔවුන්ගේ ගැටලු වෛද්‍යවරු හා සාකච්ඡා කිරීමට අවස්ථාවක්ද සංවිධායක මණ්ඩලය විසින් ලබා දී තිබිණි.

මේ වනවට වාර්තා වී තිබෙන දත්තවලට අනුව හෙරොයින්වලට ඇබ්බැහි වූ ලක්ෂයක් පමණ මෙරට සිටින බවත් ඔවුන් අතරින් 6000 ක් පමණ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට පෙළඹී සිටින බවත් කී විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා මේ නිසා ඒඩ්ස්, හෙපටයිටීස් වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බව ද අවධාරණය කළේය.

හෙරොයින් අධිමාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් ශාරීරික හා මානසික ආබාධවලට ගොදුරු වන පිරිස ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙන බවද හෙතෙම පැවසීය. මීට වසර කිහිපයකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ අවුරුදු 13 – 18 අතර පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් කළ පරීක්ෂණයකදී සිසුන් අතරින් 28% ක් කුමන හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කර තිබෙන බව අනාවරණය වූ බවත්, එම 28% අතරින් 69 % ක් ප්‍රතිකාර ගත යුතු මට්ටමක පසුවූ බවත් විශේෂඥ මනෝ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇතැම් රෝහල් සේවකයින් වේදනානාශක හා සිහිනැති කිරීමට භාවිත කරන ඖෂධ ලබා ගැනීමට පුරුදු වී සිටින බවත් මෙය රෝහල් පරිපාලනයට ගැටලුවක් වන තරමට ඔඩුදුවා තිබෙන බවත් අබේවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment