මහනුවර දිස්ත්‍රික් පාපන්දු ශූරතා ගඟවට හා කුණ්ඩසාලේ දිනාගනී

29

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වූ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ පිරිමි ශූරතාවය දිනා ගැනීමට ගඟවටකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා කණ්ඩායම සමත් වූ අතර එහි කාන්තා ශූරතාව දිනා ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ක්‍රීඩා කණ්ඩායම සමත් විය.

මහනුවර දිස්ත්‍රික් පාපන්දු ශූරතා ගඟවට හා කුණ්ඩසාලේ දිනාගනී

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 10ක් හා කාන්තා කණ්ඩායම් 08ක් සහභාගි වූ අතර පිරිමි අවසන් තරගය සඳහා උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම සහ ගඟවටකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර අවසන් තරගයේදී ගෝල 1 – 0 ලෙස ලබා ගනිමින් උඩපළාත පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ගඟවටකෝරළේ කණ්ඩායම සමත් විය. ශූරතාවය දිනාගත් ගඟවටකෝරළේ කණ්ඩායම නොකඩවා තෙවන වතාවටත් මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට සමත්වීම විශේෂත්වයකි. තරගාවලියේ අනුශූරතාවය උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායමට හිමිවිය.

කාන්තා තරගාවලියේ අවසන් තරගය සඳහා පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම සුදුසුකම් ලබා ගත් අතර එහිදී නිශ්චිත කාලය තුළ දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකි වූයෙන් දඬුවම් පහර මගින් තරගයේ ජය තීරණය කිරීම සිදුවිය. එහිදී ගෝල 3 – 2ක් ලෙස පූජාපිටිය කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම සමත් විය. මෙම කණ්ඩායම නොකඩවා වසර තුනක් දිස්ත්‍රික් ශූරතාව ලබාගෙන ඇති අතර පසුගිය වර මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනා ගැනීමට මෙම කණ්ඩායම සමත්වීම විශේෂත්වයකි. අනුශූරතාවය පූජාපිටිය කණ්ඩායමට හිමි විය.

මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්. තිලකේෂ්වරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි චන්න සෝමරත්න මහතා ඇතුළු පිරිසක් එක් විය. තරගාවලිය මහනුවර දිගන මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගණයේදී ඉකුත්දා පැවැත්විණි.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment